Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය බෙදාහැරීම සහ විකිණීමට සම්පුර්ණයෙන්ම පිටරටට විකුණා දමයි : තෙල් සංස්ථා පනතත් කම්මුතුයි

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සහ අලෙවි කිරීම සඳහා මෙතෙක් කලක් කටයුතු කරනු ලැබුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු ඔයිල් (LIOC) සමාගමයි.

සමස්ත ඉන්ධන පිරවුම්හල් අතරින් 10% ලංකා ඉන්දියානු ඔයිල් (LIOC) සමාගම සතුව පැවති අතර 90% හිමිකාරිත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු පැවතුණා.

එලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවති ඉන්ධන පිරවුම්හල් සියල්ල විදෙස් ගැනුම්කරුවන්ට විකුණා දැමීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය පසුගියදා හිමිව තිබෙනවා.

එම අනුමැතිය අදාළ කැබිනට් පත්‍රිකාව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර එම තොරතුරු පවා නිසි අයුරින් ප්‍රසිද්ධියට පත් කොට නැති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඊට අදාළව කැබිනට් තීරණය පමණක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම

– රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත. එම තත්ත්වය යටතේ ඛනිජතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අඩංගු තීරණාත්මක කරුණු රැසක් සඟවා වාර්තා කර ඇති මෙම කැබිනට් තීරණය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට පැවරෙන්නේ අදාල සමාගම් වලට තමා සතුව ඇති පහසුකම් ලබාදීම පමණයි.

එමෙන්ම මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ මෙරට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් වන සමස්ත අධිකාරී බලය ලංකා රාජ්‍යයෙන් ගිලිහී යාමයි.

එමෙන්ම ඉන්ධන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වන ඒකාධිකාරී බලය ද මින් ඉදිරියට අදාළ සමාගම් විසින් ගොඩනගා ගනු ඇති.