Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබේ මුහුණ මත ගොළුබෙල්ලන්.

1.ඩොල්ෆින් සත්කාරය.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ “ඔටිසම්” සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන වෛද්‍යවරයෙකුගේ මූලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද “ඩොල්ෆින් තෙරපි” හෙවත් ඩොල්ෆින් මසුන් ඇසුරින් සිදු කරන ප්‍රතිකාර ක්‍රමය මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබේ. යුරෝපයේ ඇතැම් රටවල්, අරාබිය, ආසියාව, කැරිබියන් දූපත් සේ ම දකුණු ඇමරිකාව ද වර්තමානයේ දී මෙම ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි විශ්වාසය තබන රටවල් අතර තිබේ.

මුල් අවිධියේ දී “ඔටිසම්” රෝගයෙන් පෙළෙන දරුවන් පිළිබඳ පමණක් සැලකිලිමත් වුව ද, අද වන විට ගර්භනී මව්වරුන් දරා සිටින කළලයේ නීරෝගීමත් වැඩීමට පවා

 ඩොල්ෆින් මසුන් උපකාරී වන බව සොයාගෙන තිබේ. එබැවින් ඇතැම් රටවල මාතෘ රෝහල්වල සේ ම ලැගුම්හල්වල ද මෙම ඩොල්ෆින් සත්කාරය ලබා ගැනීමේ පහසුකම ඇතිකර තිබෙන බව පෙනේ. 

ඩොල්ෆින් මසුන් විසින් නිකුත් කෙරෙන වෙනස් ආකාරයේ ශබ්ද තරංග මඟින් මනුෂ්‍යයින්ගේ ස්නායු රිද්මයානුකූල ව තෙරපීමකට ලක් කෙරෙයි. එය ඉපදුණු දරුවෙකුගේ පමණක් නොව කුස තුළ සිටින කළලයක වුව ද මොළයේ ක්‍රමානුකූල වැඩීමට උපකාරී වන බව සොයාගෙන තිබේ. 

2.ජලයේ බලය.

හයිටි රාජ්‍යයේ “සවුත් ඩි ඉයු” ප්‍රදේශයේ එක් දිය ඇල්ලක් පිහිටා තිබේ. ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වන්නේ මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ විට ශරීරයේ සැඟවී ඇති සියලු ලෙඩරෝග සුව වන බව යි.

විශේෂයෙන් ම වන්දනා ගමන් සඳහා හයිටි රාජ්‍යයට පැමිණෙන්නෝ මෙම ඇල්ලෙන් දිය නෑමට අමතක නොකරති. ඇතැම් කතෝලිකයින් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේගේ මෑණියන් වන මරිය තුමිය අදාළ දිය ඇල්ල සමීපයෙහි පිහිටා තිබෙන පාම් ගසක මුදුනේ දර්ශනය වූ බව යි. එහෙයින් එම ඇල්ලේ ඇත්තේ ශුද්ධ වූ ජලය බව ඔවුහු සිතති. 

වන්දනා සමයයන්හි දී දිය ඇල්ල පිහිටි ප්‍රදේශය ජනයාගෙන් පිරී ඉතිරී යයි. ගැහැනු – පිරිමි, බාල – මහලු කවුරුත් සිත් සේ ඇල්ලෙන් දිය නාමින් කෙළිදෙලෙන් පසුවනු දැකිය හැකි වේ. ඇතැමුන් නිවසින් ගෙන එන ලද කුඩා භාජනවලට ජලය ස්වල්පය බැගින් ගෙන යන්නේ පසුව ඇති විය හැකි හදිසි රෝගාබාධයක දී වේදනා නාශකයක් ලෙස භාවිත කරනු පිණිස ය.

3. ගොළුබෙලි සත්කාරය.

ජපානයේ තෝකියෝ නගරයේ පිහිටා තිබෙන ඇතැම් රූපලාවණ්‍යගාරවල අමුතු අන්දමේ ප්‍රතිකාර ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනු දැකිය හැකි වේ. ඒ අනුව ඔබට ඔබේ මුහුණ තවදුරටත් අලංකාර කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් වරකට ගොළුබෙල්ලන් තිදෙනා බැගින් මුහුණ මත රඳවාගෙන, ඔවුන් නියම කරන තරම් වේලාවක් නොසෙල්වී සිටීමට සිදු වනු ඇත.

සාමාන්‍යයෙන් මේ සඳහා ගත වන කාලය මිනිත්තු පහක් පමණ වේ. රූපලාවණ්‍ය ශිල්පීන්ගේ අදහස වන්නේ ගොළුබෙල්ලන්ගේ පාදවල ඇති ලිස්සනසුලු ද්‍රව්‍යය මුහුණේ සම සඳහා ඉතා වැදගත් වන බව යි. ඔවුන් පවසන අන්දමට අදාළ ද්‍රව්‍යය මඟින් සම මත ඇති වී තිබෙන අඳුරු ලප කැළැල්, කුරුලෑ හා පැල්ලම් ඉවත් කළ හැකි බව පර්යේෂණාගාරවල දී ඔප්පු වී තිබේ.

4. මාළු වෙදකම

“ගරා රුෆා ඔබ්ටුසස්” එසේත් නැතහොත් “මාළු වෙදා” නමින් හඳුන්වන මත්ස්‍ය වර්ගය සතු සුව කිරීමේ බලය පිළිබඳ ඇතැම්හු විශ්වාසය පළ කරති. තුර්කි රාජ්‍යයට අයත් කැන්ගෝල් නගරයේ දී ඕනෑම පුද්ගලයෙකුට මෙම සත්කාරය ලබා ගැනීමේ හැකියාව ඇත.

එහි දී ප්‍රථමයෙන් රෝගියා උනුසුම් ජල ප්‍රතිකාරය ලබා ගැනීමට යොමු කෙරෙයි. උනු ජලය පිරි තටාකයකට බැස, සාම්ප්‍රදායික තුර්කි ස්නානය මඟින් සම්බාහන සත්කාරයක් ලබා ගනිමින් සිරුර සැහැල්ලු කර ගැනීම ඉතා වැදගත් බව තුර්කිවරුන්ගේ අදහස යි. 

දෙවනු ව රෝගියා නාසය පමණක් පිටතට සිටින ලෙස මාළුන් පිරි විශාල ටැංකියක් තුළට බස්සනු ලැබේ. එහි දී මාළු වෙදුන් රෝගියාගේ සිරුර පුරා පිහිනා යනු ඇත. මෙම ප්‍රතිකාරය පැය දෙකක් පමණ වේලා ලබා ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව සම්පූර්ණ සුවය සඳහා වරකට පැය දෙක බැගින් දිනකට දෙවරක් යන ආකාරයට දින විසි එකක් පුරා මාළු වෙදුන්ගේ සත්කාර ලැබිය යුතු ය.

මෙමඟින් “සෝරයියසිස්” නම් චර්ම රෝගය ඇතුළු වෙනත් ඕනෑම ආකාරයක නිධන්ගත චර්ම රෝගයක් සුව කළ හැකි බව කියවේ. සම මෙන් ම සිරුරේ නොයෙක් ස්ථානවල පිහිටා ඇති සන්ධි ශක්තිමත් කිරීම සඳහා ද “මාළු වෙදුන්” යොදා ගත හැකි ය. 

ශ්‍රීනි ලංකා ජයකොඩි