Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ට්‍රම්ප්ගේ ආසාව

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එළඹෙන නොවම්බරයේ දී පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනාධිපතිවරණයේ දී අන් දිනවලට වඩා වැඩි ඇමරිකානුවන් සංඛ්‍යාවක් තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. එහෙත් වත්මන් ජනපති ට්‍රම්ප් මහතා මෙම තැපැල් ඡන්ද ක්‍රමයේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කරමින් සිටී. තැපැල් ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් තිබිය දී ඡන්දය ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව පිළිබඳ ප්‍රශ්න කරමින් ජනාධිපති ට්‍රම්ප් මැතිවරණ විධික්‍රමය පිළිබඳ සැක පහළ කළේය. ඔහු පවසන්නේ මෙම තැපැල් ගැටලුව හේතුවෙන් බොහෝ පුද්ගලයින්ගේ නිවැරදි තේරීම තමන්ට දැන ගැනීමට නොහැකි වනු ඇති බව යි. තැපැල් මඟින් ඡන්දය ලබා ගැනීමේ දී ඕනෑම කෙනෙකුට ඊට බලපෑම් කළ හැකි බව පෙන්වා දෙන ට්‍රම්ප්, ඡන්ද දායකයාත් මැතිවරණ කාර්යාලයත් අතර ගමනේ දී සිදු විය හැකි අක්‍රමිකතා පිළිබඳ ද සැලකිලිමත් විය යුතු බවට අනතුරු අඟවා සිටී.

එහෙත් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් පවසන්නේ මෙම ප්‍රකාශය ට්‍රම්ප්ගේ තවත් කපටිකමක් බව යි. එළඹෙන ජනාධිපතිවරණයේ දී ඔහු පරාජය වුවහොත් එය පිළි නොගෙන සිටීමට නිදහසට කරුණක් වශයෙන් ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම කර ඇති බව බයිඩන්ගේ අදහස යි. ඔහු පවසන අන්දමට මෙම මැතිවරණයෙන් පසු ට්‍රම්ප් සදහට ම ගෙදර යැවීමට තමා ඇතුළු මුළුමහත් ජනතාව ම පුල පුලා බලා සිටිති. පරාජය ලැබීමෙන් පසු ධවල මන්දිරය නැවත භාර දීම සඳහා සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් වත්මන් ජනාධිපතිවරයාට ලැබේ. ඉන් පසු, එනම් 2021 වසරේ ජනවාරි 20 වන දින වන විට ඔහු ධවල මන්දිරයෙන් නික්ම යා යුතු ය.

බයිඩන් පවසනුයේ ට්‍රම්ප්ගේ බලාපොරොත්තුව වී ඇත්තේ මන්දිරය නැවත භාර නොදී සිටීම බව යි. ඊට හේතුව ලෙස තැපැල් මාර්ගයේ දී සිදු වන්නට ඇතැයි සැලකෙන මැතිවරණ අක්‍රමිකතා කිහිපයක් විස්තර කිරීමට ඔහු සූදානමින් සිටින බවට බයිඩන් චෝදනා කරයි. එසේ ම ඔහු අනාවැකි පළ කර සිටිනුයේ හදිසියේ හෝ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිට වීම ප්‍රතික්ෂේප කළහොත්, හමුදා බලය යොදවා හෝ ඔහු පිටතට ඇද දැමීමට තමා ඇතුළු ජයග්‍රාහක පිරිස උත්සාහ ගන්නා බව ය.

මෙම සියලු කාරණා පිළිබඳ මැතිවරණ කාර්යාලයේ අදහස වනුයේ එළඹෙන නොවැම්බරයේ දී පැවැත්වීමට නියමිත ව තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පිළිබඳ කිසිවෙකුත් කලබල වීමේ අවශ්‍යතාවක් නොමැති බව යි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා තම කාර්යාලය පූර්ණ වශයෙන් ම කැප වන බවත්, ඒ පිළිබඳ සැකයක් ඇති කර ගැනීමේ කිසිදු වුවමනාවක් නොමැති බවත් ඔවුහු මහත් අවධාරණයෙන් කියා සිටිති. 

ශ්‍රීනි ලංකා ජයකොඩි