Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති පශ්චත්තාපය

මෙයට සති කිහිපයකට පෙර බේරූට් නගරයෙහි සිදු වූ පිපිරීමත් සමඟ එරට දේශපාලන භූමිය ද මහත් කැළඹීමකට ලක් ව තිබේ. පිපිරීමෙහි සම්පූර්ණ වගකීම රජය විසින් භාර ගත යුතු බව ජනතාවගේ අදහස යි. ඒ අනුව පවත්නා පාර්ලිමේන්තුවට නායකත්වය දීමේ කිසිදු අදහසක් තමාට නොමැති බව පැවසූ එරට අගමැතිවරයා වූ “මුස්තාපා ආදිබ්”, සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළේ ය. 

මෙයට මාස දෙකකට පමණ පෙර බේරූට්හි සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 190ක් මිය ගොස් 6,000ක් පමණ තුවාල ලැබූහ. වසර හයක් තිස්සේ නගරයේ වරායේ ගබඩාවක අනාරක්ෂිතව ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් පුපුරා යාම මෙම ව්‍යසනයට හේතුව විය. මෙම පිපිරීමෙන් ඩොලර් බිලියන 4.6 ක් (ඩොලර් බිලියන 3.4 ක්) පමණ ගොඩනැගිලි හා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව ලෝක බැංකුව ගණන් බලා තිබේ. ඒ අනුව විය හැකි පරිදි ම ලෙබනනයේ ආර්ථිකය කඩා වැටිණි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉක්මනින් නව රජයක් පිහිටුවන ලෙස ලෙබනනයේ දේශපාලන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියේ ය. එහෙයින් ලෙබනනයේ හිටපු ජර්මානු තානාපති “මුස්තාපා ආදිබ්” අගෝස්තු 31 වන දින එම තනතුරට නම් කරන ලදී. 

ආදිබ් තනතුර භාර ගත් අතර හැකි ඉක්මනින් රජය ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාව ඉල්ලා සිටියේ ය. ඔහු අන් රටවලින් මූල්‍ය ආධාර ලබා ගැනීමට ද උත්සාහ කළ බව පෙනේ. එනමුත් ගැටලුව වූයේ ලෙබනන දේශපාලන සමාජය අදටත් පාලනය වන්නේ ප්‍රධාන ආගමික නිකායයන් දෙකක් වන සුන්නි සහ ෂියා යටතේ වන බැවිනි. සුන්නි පක්ෂයේ තීරණවලට ෂියා විරුද්ධ වන අතර, ෂියා තීරණවලට ද එසේ ම විරෝධයක් මතු වේ. එහෙයින් රට ගොඩනැඟීම පිණිස නිවැරදි තීරණ ගැනීමේ දී අගමැතිවරයා මහත් අපහසුතාවකට මුහුණ පෑවේ ය. ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණයට හේතු වූයේ මෙම ගැටලුකාරී තත්ත්වය බවට නිගමනය කළ හැකි ය.

විවේචකයින් පවසන්නේ රටේ ආර්ථිකය පරිහානියට පත් වී බංකොලොත් රාජ්‍යයක් බවට පත් ව තිබියදීත්, සුන්නි හා ෂියා ව්‍යාපාර දෙකම තවමත් තම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම කෙරෙහි පමණක් වැඩි සැලකිල්ලක් දක්වන බවයි. ජාත්‍යන්තරය මැදිහත් වී විදේශ රටවල් තුළ නිධන්ගත කොට ඇති ලෙබනන් දේශපාලනඥයන්ගේ වත්කම් රාජසන්තක කරන බවට තර්ජනය නොකළහොත් එරට සිටින කිසිවෙකු සැබෑ වෙනසක් සඳහා සහය ලබා නොදෙනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය යි.

ශ්‍රීනි ලංකා ජයකොඩි