Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආදි කාලයේ වෙදකම කෙරුණ හැටි

පුරාණ යුගයේ මිනිසුන් හට ඇති වුණු නොයෙකුත් වර්ගයේ ලෙඩ රෝග සඳහා හේතුව ලෙස ඔවුන් දුටුවේ දෙවිවරුන්ගේ බලපෑම ය. විශේෂයෙන් ම පිළිකාව, වසූරිය වැනි තරමක් භයානක ලෙඩ රෝගවල වගකීම සම්පූර්ණයෙන් ම පැවරුණේ දෙවිවරුන්ට යි. එසේ ම ඔවුන් දෙවිවරුන්ගේ කිසිදු වරදක් දුටුවේ ද නැත. මන්දයත් කිසියම් පුද්ගලයෙකුට රෝග සෑදෙනුයේ එම පුද්ගලයාගේ ම පවුකාරකම නිසාවෙන් බව බොහෝ දෙනෙකුගේ අදහස විය.

බහුතර තුවාල සතුන් නිසා සිදු විය.

ආදි කාලීන මිනිසුන් වර්තමානයට වඩා භයානක සතුන් සමඟ ගනුදෙනු කළ බව පෙනේ. එහෙයින් ඔවුනට සිදු වූ තුවාල ද බල්ලන් සපා කෑම්, පූසන්ගෙන් සීරීම් ආදියට වඩා බරපතල විය. විශේෂයෙන් සිංහයන්, හිපපෝටෙමස්, හිවලුන් සහ වෙනත් දරුණු සතුන්ගෙන් ඇති වන ප්‍රහාරයන්ට මුහුණ දීමට සිදු වූ සංස්කෘතියක් තුළ ශාරීරික තුවාල බොහෝ සිදු විය. තුවාල පහසුවෙන් හඳුනාගත හැකි වූ අතර ඒවාට අද පවතින ආකාරයට ම බෙහෙත් කෙරිණි. එනම් වෙළුම් පටි, බැඳීම් ආදිය මඟිනි. කෙසේ වෙතත්, ඔවුනට බැක්ටීරියා හෝ විෂබීජ න්‍යාය පිළිබඳ අදහසක් නොතිබූ හෙයින්, රෝගයට හේතුව පැහැදිලි කර ගත් බවක් නොපෙනේ. 

එම්බාම් සහ වෛද්‍ය විද්‍යාව.

මරණයෙන් පසු සිරුරු කපා කොටස් වෙන් කිරීමෙහි නිරත වූ එම්බාම්කරුවන් ශරීරයේ අභ්‍යන්තර අවයව සහ ඒවා අවකාශීය ව එකිනෙකා සමඟ ඇති සම්බන්ධතාව පිළිබඳ දැන සිටිය ද, ඔවුන් මෙම තොරතුරු වෛද්‍යවරුන් සමඟ බෙදා ගත්තේ නැත. වෛද්‍යවරු ද එම්බාම්කරුවන් සමඟ සාකච්ඡා නොකළහ. මෙම වෘත්තීන් දෙක එකිනෙකට සම්බන්ධ වීමට කිසිදු ඉඩක් නොමැති, පැහැදිලිවම වෙනස් වෘත්තීන් දෙකක් ලෙස සලකනු ලැබීය.

ප්‍රතිකාර වර්ග.

පැරැණ්නන්ගේ ප්‍රතිකාර වර්ග අමුතු විය. හෘද රෝග, පිළිකා ආදිය සඳහා එකල වෛද්‍යවරුන් නියම කළේ රෝගියා ගන්නා ආහාර වේලෙහි වෙනසක් ඇති කර ගැනීමට පමණි. එය එක්තරා ආකාරයකින් නිවැරැදි බව පෙනේ. සමෙහි මෙන් ම අක්ෂිවල ආබාධ සඳහා ඔවුන් යොදා ගත්තේ ලුණු ය. කිසියම් රෝගියෙකු වේදනාවෙන් පෙළුණ ද, ශරීරය මතුපිට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකෙරේ නම් ඔවුන්ගේ ප්‍රතිකාරය වූයේ අඹරණ ලද ඖෂධ ගුලියකි. “බ්ලඩ්ස්ටෝන්” නමැති ගල්, රතු පැහැති ධාන්‍ය සහ “කැරොබ්” නම් වූ ඖෂධ පැළෑටිය තෙල් සමඟ තම්බා, මී පැණි සමඟ මිශ්‍ර කොට පිට පිට දින හතරක් උදෑසන රෝගියාට කෑමට දෙනු ලැබේ. එමඟින් ශරීරයේ නොපෙනෙන රෝග සුව වන බව ඔවුහු විශ්වාස කළහ.

වෛද්‍යවරුන් විසින් දෙනු ලැබූ සියලු ඖෂධ බීර, වයින් හෝ මී පැණි සමඟ මිශ්‍ර කොට ලබා දෙන ලදී. එකල බීර යනු මිනිසුන් ජලය මෙන් නිරන්තරයෙන් පානය කළ බීමක් විය. මන්දයත් ඒවා ජනතාවගේ සෞඛ්‍යය හා විනෝදය සඳහා දෙවිවරුන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස සැලකුණු බැවිනි. එහෙයින් ගර්භනී හා කිරි දෙන මව්වරුන්ට පවා කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඖෂධයක් බීමට ලබා දිය යුතු නම් එම වෛද්‍යවරු කිසිදු දෙගිඩියාවකින් තොර ව ඒවා වයින් හෝ බීර සමඟ මිශ්‍ර කොට පානය කිරීමට සැලැස්වූහ. ළදරු වියේ දී ඇති වන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් දරුවාට මව්කිරි ලබා දෙන අතරතුර මවට ද තෘණ බීජ හා සයිපෙරස් තණකොළ මිශ්‍ර කළ බීර කෝප්පයක් දින හතරක් තිස්සේ පානය කරන ලෙස පවසනු ලැබේ.

නාරිවේදය.

එකල ජීවත් වූ වෛද්‍යවරුන් සිතුවේ ඕනෑ ම කාන්තාවකට ඇති වන සියලු රෝගවලට හේතුව ඇගේ ගර්භාෂය බව යි. හාස්‍යජනක ලෙස ඔවුන් සිතා සිටියේ මෙම අවයවය නිරන්තරයෙන් සිරුර පුරා පා වෙමින් ගමන් කරන බව යි. එහෙයින් පළමුව අදාළ අවයවය යෝනිය අසලට ගෙන ආ යුතු විය. ඒ සඳහා ඔවුන් සිදු කළේ කාන්තාවගේ යෝනිය තුළින් සුවඳ දුම් යැවීම යි. පසුව කැරොබ් පැළෑටියෙන් ලබා ගත් පලතුරු ස්වල්පයක්, උණු එළකිරි වීදුරුවක් සහ සිසිල් එළකිරි වීදුරුවක් එකට මිශ්‍ර කොට උදෑසන 4ට බීමට ලබා දෙනු ලැබිණි.

මින් පෙර ලිපියක සඳහන් කළ පරිදි ලූනු ගෙඩි යෝනි මාර්ගය තුළට යවා, වරු කිහිපයකින් පසු මුඛයේ දුගඳ බැලීමෙන් කාන්තාවකගේ සරු බව තීරණය කෙරුණු අතර එමර් සහ බාර්ලි බීජ ඇගේ මුත්‍රා සමඟ මිශ්‍ර කොට, ඒවා පැළ විණි නම් කාන්තාව ගැබ් ගෙන ඇති බව ද තීරණය කෙරිණි. සංසර්ගයේ යෙදීමට පෙර යෝනිය තුළට කිඹුල් අසූචි ඇතුළු කිරීමෙන් උපත් පාලනය ද සිදු කෙරිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.