ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීමට සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙන බව මාධ්‍ය රැසක් වාර්තා කර තිබෙනවා.
තව දුරටත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවන මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය එකී මානව හිමිකම් උල්ලංඝනය කළ සහ ඒ සඳහා නායකත්වය ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමට හා සාක්ෂි රැස් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමට ද නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ තරම් බරපතල යෝජනාවක් මීට පෙර ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල කර නැහැ.
මෙම වාර්තාව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙත ලබා දී ඇති අතර එයට ප්‍රතිචාර දැක්වීමට ජනවාරි 27 දක්වා කාලය පවතින බව විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළොඹගේ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පවසා තිබෙනවා.
ලබන මස අගදී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය විසින් මෙම වාර්තාව සම්පාදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2020) පෙබරවාරි මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් අනතුරුව සුළුතර ජාතීන් කෙරෙහි එල්ල කරන ප්‍රචණ්ඩත්වය සහ වෙනත් බලපෑම් විශාල ලෙස වැඩි කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරින්ට එරෙහිව සිදු කෙරෙන බියගැන්වීම් මෙන්ම මෑත කාලීනව සුළුතර මුස්ලිම් ප්‍රජාවට එල්ල කෙරෙන පීඩනයන්ද මානව හිමිකම් කොමිසමේ අවධානයට යොමු විය යුතු බව මහකොමසාරිස්වරිය අවධාරණය කර ඇති බව ද සඳහන්.
මෙම තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යම් නිශ්චිත පියවරයන් කිහිපයක් ගත යුතුව ඇති බවද ඇය පෙන්වා දී තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍ය සහ තවත් පාර්ශ්ව කීපයක් ඒකාබද්ධව මෙවර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බවද වාර්තා වේ.
මෙවන් ආකාරයෙන් බරපතළ පීඩනයක් ශ්‍රී ලංකාව දෙසට එල්ල වුවහොත් එය මෙරටට දැඩි බලපෑමක් වනු ඇති අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තිමත් හා හුදකලා රටක් ලෙසින් ජාත්‍යන්තරය තුල හංවඩු ගැසීමකට ලක් වීමේ ඉඩකඩක් ද පවතිනවා.
මේ වන විට උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් හා මුස්ලිම් සමාජ ක්‍රියාකාරීන් රැසක් ද ශ්‍රී ලංකාව තුලම හිඳිමින් ඔවුන් මුහුණ දෙන ගැටළු කිහිපයක් පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ලක් කිරීමට කටයුතු කර ඇති බව පසුගියදා වාර්තා වුණා.
එමෙන්ම මහර බන්ධනාගාර සිදු වීම ආදියද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට අහිතකර ලෙස බලපානු ඇති බවටද මත පල වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය 2020 පෙබරවාරි 22 දා සිට මාර්තු 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක