Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වසු පැටවුන්ට තොත්තු දී රෝග සුව කිරීම.

1.පෙනීමේ දෝෂවලට පරිගණක ක්‍රීඩා.

අප දන්නා තරමින් පරිගණක ක්‍රීඩාවල නියැලීම යනු කුඩා ළමයින්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද දෑස් දැඩි සේ වෙහෙස කරවන, එනම් ඇසට ඉතා නුසුදුසු වන ක්‍රියාවකි. එනමුත් ස්ලෝවැකියාවේ අක්ෂි වෛද්‍යවරුන් විසින් අනුගමනය කෙරෙන එක් ප්‍රතිකර්මයක් වන්නේ රෝගියා පරිගණක ක්‍රීඩාවක නිරත කරවීම ය.

මෙය වූ කලි ලොව පුරා අක්ෂි වෛද්‍යවරුන්ගේ මතයයන් උඩුයටිකුරු කරවන ආකාරයේ ප්‍රතිකර්මයක් බව පෙනේ. එහෙත් එරට වෛද්‍යවරුන් මෙය නිර්දේශ කරන්නේ විශේෂ වූ එක් අක්ෂි රෝග වර්ගයක් සඳහා පමණි. මොළයේ කොටසක් මිය යෑම හේතුවෙන් ඇස්වල පෙනීම දුර්වල වූ රෝගීන් හා සාමාන්‍යයෙන් ඇස්වලින් පෙනෙන රූප නොපැහැදිලි ව දර්ශනය වන රෝගීන්ට මෙම ප්‍රතිකර්මය සුදුසු බව ඔවුන්ගේ අදහස යි. කෙටියෙන් කියතොත් “ඇම්බ්ලියෝෆියා” රෝගීන් සුව කිරීමට ස්ලෝවැකියාවේ දී යොදා ගන්නේ පරිගණක වීඩියෝ ක්‍රීඩා ය.

මෙහි විද්‍යාත්මකභාවය කෙසේදැයි සිතා බැලූ වි පෙනී යන්නේ සජීවී රූප ළඟ ළඟ එහා මෙහා යෑම නිරීක්ෂණය කිරීමෙන් රූපවල නොපැහැදිලිතාව නිවැරදි වන බව යි. එසේ ම ඇසට කණ්ණාඩි යුගළක් ආකාරයේ යන්ත්‍රයක් සවිකොට, එ් හරහා පෙනෙන රූප දෙස බලා ක්‍රීඩා කිරීමෙන් දෙ ඇස්වල රූප වෙන වෙන ම දෙ ආකාරයකට පෙනීමේ ගැටලුව මඟ හරවා ගත හැකි වේ. “ඇම්බ්ලියෝෆියා” රෝගීන් වෙනුවෙන් ම විශේෂයෙන් සකස් කෙරුණු පරිගණක වීඩියෝ ක්‍රීඩා ගණනාවක් ම ස්ලෝවැකියානු වෛද්‍යවරුන් සතු ව තිබේ.

2. පණපිටින් මාළු කෑම.

ඔබ මාළු කනවා ද? වෙල් මාළු, මුහුදු මාළු, කිරට, මිරිසට, තෙලට යනාදී වශයෙන් ඕනෑම ආකාරයකට, අවම වශයෙන් එක් කැබැල්ලක්වත් ඔබේ උගුරෙන් පහළට ගොස් ඇති. එහෙත් ඒ සියලු මාළුන් මියගියවුන් නොවේ ද? පණපිටින් දඟලන එක් මාළුවෙක් හෝ ඔබ ආහාරයට ගෙන තිබේ ද? 

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ “බතිනි ගෞද් සහෝදරයෝ” යනුවෙන් කණ්ඩායමක් සිටිති. ඔවුන් පවසන්නේ තමන් එක්තරා අන්දමක සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාරවල නිරත වන අය බව යි. ඔවුන් විසින් අනුගමනය කෙරෙන එක් ප්‍රතිකර්මයක් වන්නේ පණ ඇති ව දඟලන මාළුවෙකු ජලයෙන් පිටතට ගෙන, රෝගියාගේ උගුරට ඇතුළු කිරීම යි. මද වේලාවක් එසේ අල්ලාගෙන සිට, ඉන්පසු ඌ උගුරින් පහළට තල්ලු කර දැමේ. මාළුවා ගලනාලය හරහා දඟලමින් බඩවැල් තුළට ගොස්, හැකිතාක් වේලා දඟලමින් සිට මිය යයි.

ඔවුන්ට අනුව මෙම මාළුවාගේ දැඟලීම තුළින් ශරීරයට නොසිතන අන්දමේ ප්‍රතිඵල ළඟා කර දිය හැකි ය. විශේෂයෙන් ම ඇදුම වැනි ශ්වසන රෝග පාලනය කිරීමට පමණක් නොව, ඇතැම් විට සම්පූර්ණයෙන් සුව කර දීමටත් එම කණ්ඩායමට හැකි වී ඇත්තේ මෙම මත්ස්‍ය ප්‍රතිකාරය නිසාවෙනි. ඒ සඳහා ඔවුහු තමන් විසින් ම නිවසේ දී පිළියෙල කර ගන්නා ලද රහස් ඖෂධ වට්ටෝරුවක් ද යොදා ගනිති. උගුරට ඇතුළු කිරීමට පෙර මාළුවා එහි පොඟවාගනු ලැබේ. 

සෑම වසරක ම ජුනි මාසයේ දී “බතිනි ගෞද් සහෝදරයෝ” හයිද්‍රාබාදයට පැමිණෙති. එහි දී වෛද්‍ය කඳවුරුවලට සහභාගී වී, මත්ස්‍ය ප්‍රතිකාරය ලබා ගැනීම පිණිස රට පුරා සතර දෙසින් දහස් ගණනින් ජනතාව ඒකරාශී වෙති. කෙසේ වුවත් මෙයින් සම්පූර්ණ සුවය ලැබූවන් නම් දුලබ ය. 

3. වසු පැටවුන්ට තොත්තු දීම.

කුරුලෑ, රූමටික ප්‍රදාහය වැනි ශාරීරික රෝග සඳහා ඔබ අනුගමනය කරන ප්‍රතිකර්මය කුමක් ද? ඕනෑම වෛද්‍යවරයෙකු අනුමත කරනුයේ පිළිගත් ආලේපන හා ඖෂධ වර්ග ය. එහෙත් කාම්බෝජයේ මෙවැනි රෝගවලට ප්‍රතිකාර කරනුයේ අමුතු ම ආකාරයට යි.

එහි වෙසෙන ග්‍රාමීය වෙදුන් සතු ව කැස්බෑ පැටවු, නයි පැටවු, වසු පැටවු හා මිරිදිය ඉබ්බෝ සිටිති. ඔවුන් වෙත පැමිණෙන රෝගීන් සිය අසනීපය පිළිබඳ විස්තර කළ විට, වෙද මහතා විසින් නියම කෙරෙන සත්ත්වයා රෝගියාට ලබා දෙනු ලැබේ. 

ප්‍රතිකර්මය ඉතා පහසු ය. වසු පැටවු හැර අනෙකුත් උරගයින් රෝගියාගේ මුහුණ හෝ සිරුර මත ලිස්සා යැවෙයි. වසු පැටවාගෙන් නම් චුම්බනයක් ලබා ගැනීම ප්‍රමාණවත් ය. කුරුලෑ පවතින ස්ථාන හෝ වේදනාවට හේතු වන නියමිත ස්ථාන බලා, ඉහත සඳහන් ආකාරයට ප්‍රතිකාර කිරීමෙන් අදාළ රෝගී තත්ත්වය ඉක්මනින් සුව වන බවට විශ්වාස කෙරෙයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author