Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

9/ 11

2001 වසරේ සැප්තැම්බර් මස 11 වන අඟහරුවාදා දින උදෑසන එක්සත් ජනපදයේ ඊසානදිග ගුවන්තොටවල සිට කැලිෆෝනියාව බලා පිටත් ව ගිය මගී ගුවන් යානා හතරක් අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු විසින් පැහැරගෙන ඇති බවට ධවල මන්දිරය වෙත වාර්තා විය. ඊට ටික වේලාවකට පසු පහළ මැන්හැටන්හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංකීර්ණයේ පිළිවෙළින් උතුරු හා දකුණු කුලුණුවලට ඇමරිකානු ගුවන් සේවයට අයත් 11 වන අංකයට අදාළ යානයත් එක්සත් ගුවන් සේවයට අයත් අංක 175 දරන ගුවන් යානයත් කඩා වැටුණි. පැයකුත් මිනිත්තු 42ක් ඇතුළත තට්ටු 110කින් සමන්විත වූ කුළුණු දෙක ම බිඳ වැටිණි. එයින් පසු අදාළ ගොඩනැඟිලිවල සුන්බුන් හා ඒවායේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගින්නෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංකීර්ණයට අයත් තට්ටු 47 කින් යුත් ප්‍රධාන ගොඩනැඟිල්ල ඇතුළු අනෙකුත් සියලු ගොඩනැගිලි අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර අවට පිහිටි විශාල ගොඩනැඟිලි දහයකට පමණ සැලකිය යුතු හානි ද සිදු විය. 

දෙවන ගුවන් යානය උදේ 9:03ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දකුණු කුළුණට කඩා වැටීමෙන් මොහොතකට පසු ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල වී ඇති බව සියලුදෙනාට ම පැහැදිලි විය. ඒ වන විට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එහි සිටියේ නැත. එහෙයින් රහස් සේවා ඒජන්තවරු හැකි ඉක්මනින් උප ජනාධිපතිවරයා සහ තවත් ඉහළ පෙළේ පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු ධවල මන්දිරයේ පහළ ම මාලයේ කොරිඩෝවෙන් බස්වා, භූගත බංකරයක් වෙතට ගෙන ගියහ. පළමු පැයේ දී එම කණ්ඩායම රූපවාහිනියෙන් දිග හැරෙන ප්‍රවෘත්ති නරඹමින් සිටි අතර, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන අංශය, ෆෙඩරල් හදිසි කළමනාකරණ අංශය සහ මධ්‍යම බුද්ධි අංශය පෙන්ටගනය වෙතින් පෙර නොවූ විරූ ප්‍රහාරයක් පිළිබඳ ලැබෙමින් පවතින වඩාත් විශ්වාසදායී තොරතුරු රැස් කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරෑහ. වඩාත් බරපතල ප්‍රශ්න බවට පත් වූයේ මේ වන විට අහසේ ගුවන් යානා කීයක් ඉතිරි ව තිබේ ද? එයින් කොපමණ සංඛ්‍යාවකට සතුරු බලවේග විසින් අණ දෙන ලද ද? සහ ඒ සඳහා කුමක් කළ යුතු ද? යන්නයි.

හදිසි රැස්වීමක් කැඳවනු ලැබිණි. එදින උදෑසන රාජකාරියේ යෙදී සිටි කණ්ඩායමත් සාමාන්‍යයෙන් අඟහරුවාදා උදෑසන සේවයේ යෙදෙන කාර්යය මණ්ඩලයත් රැස්වීම සඳහා පැමිණ සිටියහ. මිනිත්තු කිහිපයකින් උප ජනාධිපති චෙනී සහ අනෙකුත් නිලධාරීහු ද පැමිණියහ. නාවික හමුදාපති ඇන්තනි බාන්ස් එදින උදෑසන රාජකාරියේ යෙදී සිටි අතර, ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස්, ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ කැරන් හියුස්, චෙනීගේ සහායිකාව වූ මේරි මැටලින් සහ ප්‍රවාහන ලේකම් නෝමන් මිනෙටා ආදීහු රැස්වීම සඳහා සම්බන්ධ වූහ. මේ වන විට අහසේ සැරිසරමින් තිබූ සියලු ගුවන්යානා සම්බන්ධයෙන් ඔවුනට තොරතුරු ලැබෙමින් තිබිණි. මිනිත්තු කිහිපයක් ඇතුළත එ් සියල්ල සැකකටයුතු යානා බවට පත් විය. නිරන්තරයෙන් රේඩාර් සංඥා ලැබුණු අතර ඔවුන් උත්සාහ කරමින් සිටියේ අනතුරුදායක යානා කීයක් තිබේ ද යන්න සොයා ගැනීමට ය. එහෙත් අවාසනාවකට මෙන් රේඩාර් තිර මත කුඩා ගුවන් යානා සංකේත දහස් ගණනක් දක්නට ලැබිණි. ඒ වන විට ත්‍රස්තවාදීන් අල්ලාගෙන සිටියේ යානා හතරක් පමණක් බව සැබෑවකි. එනමුත් ඔවුන්ගේ සියලු ඉලක්ක සහ අරමුණු මොනවාද යන්න පිළිබඳ කිසිවෙකුත් දැන නොසිටි බැවින් ඇමරිකාව සැබැවින් ම සිටියේ දැඩි අනතුරකට මුහුණ දෙමිනි. 

ඇමරිකානු ගුවන් සේවයට අයත් අංක 77 දරන තුන් වන ගුවන් යානය වර්ජිනියාවේ ආර්ලිංටන් ප්‍රාන්තයේ පිහිටි පෙන්ටගනයට එනම්, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානය මතට කඩා වැටුණු බවත් එමඟින් ගොඩනැගිල්ලේ බටහිර අංශය අර්ධ වශයෙන් කඩා වැටුණු බවත් මඳ වේලාවකින් දැන ගැන්මට ලැබිණි. වරින් වර තුන් වන ප්‍රහාරයේ තොරතුරු ද ධවල මන්දිරය වෙත ලැබෙමින් පැවතිණි. ඒ වන විට ඔවුන් වෙත අතිවිශාල ආරංචි ප්‍රමාණයක් ලැබෙමින් තිබූ හෙයින් සත්‍ය තත්ත්වය පිළිබඳ නිවැරැදි ව නිගමනය කිරීම ද අසීරු විය.

උප ජනාධිපතිවරයා හට සිදු ව තිබුණේ සිය ජීවිතයේ දී ඔහු ලබා ගත් අසීරුතම තීරණය ගැනීමට යි. ඒ වන විට සිව් වන ගුවන් යානය පැහැර ගෙන ඇති බවත් එය රටෙහි අගනුවර වෙත පියාසර කරමින් තිබෙන බවටත් සැල විය. එබැවින් අගනුවර විනාශ කිරීමට පෙර යානය නැවැත්විය යුතු වී තිබිණි. වහා ජෝර්ජ් බුෂ් සම්බන්ධ කර ගත් උප ජනාධිපතිවරයා, හදිසි තීරණයක් ලබා ගත්තේ ය. ඒ, අංක 93 දරන මඟී ගුවන් යානය මඟීන් සමඟ ම විනාශ කර දැමීමට යි. 

තීරණය ගුවන් හමුදාව වෙත දන්වනු ලැබිණි. ප්‍රහාරක ගුවන් යානයක් අහසට නංවනු ලැබිණි. එහි නියමුවරිය වූයේ “හෙදර් පෙනී” නම් කාන්තා නිළධාරිනියකි. පෙනීගේ මනසෙහි බොහෝ දේ නොතිබුණි. “ෆ්ලයිට් 93” යානයේ මගීන්ගේ ඉරණම අවසන් විය යුතු බවට ඇය පිළිගෙන තිබූ අතර, තමා සාර්ථක වූවත් නැතත් ඔවුන් මිය යනු ඇතැයි විශ්වාස කළාය. මඟී යානය විනාශ කර දැමීමට ඇයට තිබුණේ එක් අවස්ථාවක් පමණි. පෙනී හට තවත් පෞද්ගලික ගැටලුවක් ද විය. ඇගේ පියා ද ගුවන් නියමුවෙකු වූ අතර, 93 යානයේ නියමුවා බොහෝ විට මේ වද්දී නැගෙනහිර වෙරළබඩ නගර හරහා පියාසර කරමින් සේවයේ යෙදී සිටි ඇගේ පියා විය හැකි බව ද සෑම විට ම සිත තුළ පැසවමින් තිබිණි. සියල්ල සිතේ දරා ගනිමින් පෙනී සිය ප්‍රහාරක යානය ඉහළට නැංවූවා ය. එහෙත් ඇයට ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට අවශ්‍ය නොවී ය. එහි සිටි මඟීන් පිරිස ගුවන් හමුදාවට වඩා ක්‍රියාශීලී වී තිබිණි. එහෙයින් මඳ වේලාවකට පසු ත්‍රස්තවාදීන්ගේ උත්සහය ව්‍යර්ථ වූ බවත්, යානයේ සිටි මඟීන් එක් වී එය තම ජීවිත ද සමඟ පෙනිසිල්වේනියාවට කඩා වැට්ටවූ බවත් සැල විය. එනම්, සිව්වන ගුවන් යානය වන එක්සත් ගුවන් සේවයට අයත් අංක 93 දරන යානය, මුලින් වොෂිංටන් ඩී.සී. වෙත ගෙන යාමට එම කොල්ලකරුවන් විසින් උත්සාහ දරා තිබුණ ද පසුව එය පෙන්සිල්වේනියාවේ “ස්ටොනික්ක්‍රීක් ටවුන්ෂිප්” ප්‍රදේශයේ පිහිටා තිබූ කෙතකට කඩා වැටුණි.

සැකය ඉක්මනින් අල්කයිඩාව වෙත යොමු විය. එක්සත් ජනපදය ඊට ප්‍රතිචාර දක්වමින් තලේබාන්වරුන් බලයෙන් පහ කිරීම සඳහා ත‍්‍රස්තවාදයට එරෙහි ව යුද්ධයක් දියත් කරමින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේය. බොහෝ රටවල් ද ඔවුන්ගේ ත්‍රස්ත විරෝධී නීති ශක්තිමත් කළ අතර ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේත් බුද්ධි අංශවලත් බලතල පුළුල් කළහ. බින් ලාඩන් මුල දී සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ ද, 2004 දී ඔහු මෙම ප්‍රහාරයේ වගකීම භාර ගත්තේය. දශකයකට ආසන්න කාලයක් මරණය මඟ හැරීමෙන් පසු, බින් ලාඩන් 2011 දී පාකිස්තානයේ දී සිදු කරනු ලැබූ එක්සත් ජනපද හමුදා වැටලීමකදී මිය ගියේය.

9/ 11 ප්‍රහාරය හේතුවෙන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා අවට යටිතල පහසුකම් විනාශ වී යාම නිව්යෝර්ක් නගරයේ ආර්ථිකයට බරපතල හානියක් බවට පත් වූ අතර ගෝලීය වෙළඳපොළවල් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ද ඇති කළේය. එක්සත් ජනපදය සහ කැනේඩියානු සිවිල් ගුවන් අවකාශය සැප්තැම්බර් 13 වනදා දක්වාත්, වෝල් වීදිය සැප්තැම්බර් 17 දක්වාත් වසා දමා තිබුණි. බොහෝ වසා දැමීම්, ඉවත් කිරීම් සහ අවලංගු කිරීම් අනුගමනය කරනු ලැබුවේ වැඩිදුර ප්‍රහාරවලට ඇති බිය නිසා ය. ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමිය පිරිසිදු කිරීම 2002 මැයි මාසයේ දී අවසන් කරන ලද අතර පෙන්ටගනය ද වසරක් තුළ අලුත්වැඩියා කරන ලදී. එක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම 2006 නොවැම්බරයේ දී ආරම්භ වූ අතර අදාළ ගොඩනැගිල්ල 2014 නොවැම්බරයේ දී විවෘත විය. නිව්යෝර්ක් නගරයෙහි “ජාතික සැප්තැම්බර් 11 අනුස්මරණ හා කෞතුකාගාරය”ත්, වර්ජිනියාවේ ආර්ලිංටන් ප්‍රාන්තයේ “පෙන්ටගන් අනුස්මරණ කෞතුකාගාරය” සහ පෙන්සිල්වේනියාවේ අනතුරට ලක් වූ ස්ථානයේ “පියාසර 93 ජාතික අනුස්මරණ කෞතුකාගාරය” ඇතුළු බොහෝ ස්මාරක මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉදිකර ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author