Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුදල් ඇමතිගේ කෑම වට්ටෝරු.

ඕස්⁣ට්‍රේලියාවේ අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතා පසුගිය 23 වන දින ශ්‍රී ලාංකීය ආහාර වේලකින් සිය පවුලේ සාමාජිකයින්ට සංග්‍රහ කිරීමේ සිද්ධිය බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ජනප්‍රිය වූ පසු, තවත් එවැනි ම දේශපාලනඥයින් කිහිපදෙනෙකු තම තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා එම මාර්ගයේ ම යාමට උත්සාහ ගන්නා බව පෙනේ. නිහඬ මිනිසෙකු ලෙස ප්‍රසිද්ධ දකුණු අප්‍රිකාවේ මුදල් ඇමති “ටිටෝ බොවේනි” ද ට්විටර් වෙබ් අඩවිය තුළ මෙන් ම විදේශයන්හි ද මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින්නේ ඔහුගේ මුදල් ප්‍රතිපත්ති නොව රසවත් ආහාර වට්ටෝරු හේතුවෙනි. 

61 හැවිරිදි ටිටෝ, සිය රට මුහුණ දෙමින් සිටින ගැටලු ගණනාවක් පිළිබඳව ට්වීට් කර ඇති බව සැබෑවකි. එහෙත් ඒ සියල්ලන් අතරින් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ, ඔහු රාත්‍රී ආහාරය සඳහා සකස් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න යි. ඔහුගේ කෑම වට්ටෝරු සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රතිචාරය වැඩි කරයි. නමුත් ඔහු ජනතාව සිතන තරම් කුස්සියේ දක්ෂ නොවන බවට කනින් කොනින් ආරංචි වෙයි. ඔහුගේ කෑම පිඟාන සරල හා හදවත පැහැර ගන්නා තරම් දැකුම්කලු වන අතර ටිටෝ, මිරිස් හා සුදුළූණුවලට ප්‍රිය කරන බව පෙනී යයි. සාමාන්‍යයෙන් සිය නූඩ්ල්ස් පිඟාන පිළිබඳ ඔහු ආඩම්බරයට පත් වන බව එම ප්‍රකාශන තුළින් දැන ගත හැකි ය. තමා මිරිස් සමඟ මිශ්‍ර කර සාදා ගත් අලුත් ම කෑම වට්ටෝරුව ගැන උදම් අනන ඔහු, එහි සැරට තමාට දහඩිය දැමූ බව ද මහත් අභිරුචියෙන් ප්‍රකාශ කර තිබේ. 

මෙවැනි කිසිදු වැදගැම්මකට නැති පෞද්ගලික කාරණා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ පසුගිය දිනෙක දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයාගෙන් බැණුම් ඇසීමට ටිටෝ හට සිදු විය. එවෙලෙහි ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළ ද ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවිය තුළ හිතුමතේ සැරිසැරීම අත්හැරියේ ටිටෝ නොවේ. වෙබ් අඩවිය තුළ “ටිටෝ මාමා” යනුවෙන් ජනප්‍රිය වී ඇති මුදල් ඇමතිවරයා, මේ වන විට “I-tweet-what-I-like” යනුවෙන් වෙනම ම වැඩසටහනක් පවත්වාගෙන යයි. ඒ තුළ ඔහු කෑම වට්ටෝරු පමණක් නොව, රට රටවල දේශපාලන අර්බුද පිළිබඳ ද නොයෙක් අදහස් ද පළ කරයි. 

අසල්වැසි සැම්බියාවේ ජනාධිපතිවරයා විවේචනය කරමින් ඔහුගේ අනුගාමිකයන් 870,000කට වැඩි පිරිසකට ඔහු විසින් මෑතක දී නිකුත් කරන ලද ට්වීට් පණිවුඩය හේතුවෙන් ඔහුට එම රටේ බොහෝ දෙනෙකුගේ විවේචනවලට මෙන් ම ඔහුගේම ජනාධිපති සිරිල් රමෆෝසාගේ කෝපයට ද මුහුණ දීමට සිදු විය. පසුගිය සති අන්තයේ දී සැම්බියානු ජනාධිපති “එඩ්ගර් ලුන්ගු” විසින් එරට මහ බැංකු අධිපති “ඩෙනී කල්‍යාල්යා” නෙරපා හැරීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ ලිවීය. “අප්‍රිකාවේ ජනාධිපතිවරු සෑම උදෑසනක ම අවදි වී සිදු කරන මෙම විකාරය නතර කර මහ බැංකු අධිපතිවරයාට වෙඩි තැබිය යුතුය. එහෙත් ඔබට එය කළ නොහැක. මෙය ඔබගේ යම්කිසි වංචාවක් බව පෙනේ. ඔබ කළ යුත්තේ සියලු බැංකුකරුවන්ට මේ පිළිබඳ අදහස් දැක්වීමට ඉඩ දීම ය”. 

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද බැණුම් ඇසීමට ටිටෝ හට සිදුවිය. ඔහු පසුව සිය ප්‍රකාශය වෙබ් අඩවියෙන් මකා දැමුව ද, සැම්බියානුවන්ගේ විරෝධතාව අද වන විටත් නැවතී නොමැත. මොහු මෙලෙස සිය රට තුළ පමණක් නොව අසල්වාසී රටවල් අතර ද ගැටලු ඇති කරමින් වගකීම් විරහිත ව කටයුතු කරනුයේ මන්ද යන්න සිතා ගත නොහැකි ය.