Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මාස්ට එරෙහිව ෂීස්

කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ ජනතාව මහත් අපේක්ෂාවෙන් බලා සිටි මැතිවරණයක් බොලිවියාවේ දී පැවැත්විණි. මෙම ඡන්දය 2019 දී පැවැත්වුණු වාමාංශික ජනාධිපති “ඊවෝ මොරාලෙස්”ගේ ඉල්ලා අස්වීමට හා පිටුවහල් කිරීමට හේතු වූ අවුල් සහගත මැතිවරණය ම නැවත ක්‍රියාත්මක කිරීමකි. බොලිවියාවේ පළමු ස්වදේශික නායකයා ලෙස ඔහු 2006 සිට ම ගොඩබිමින්, ගෑස්වලින් හා ඛණිජවලින් පොහොසත් දකුණු ඇමරිකානු ජාතිය පාලනය කළේය.

දක්ෂිණාංශික කුමන්ත්‍රණයකින් තමා බලහත්කාරයෙන් නෙරපා දැමූ බවට චෝදනා කරන මොරාලෙස් මහතා, සිය පිටුවහල් කිරීමේ දඬුවම අත්හිටුවාගෙන ආපසු ගමරට බලා පැමිණීමේ මාර්ගයක් ලෙස මෙම මැතිවරණය භාවිත කරයි. හිටපු ජනාධිපතිවරයා මෙහි අපේක්ෂකයෙකු නොවූ නමුත් ඔහුගේ ව්‍යාපාරය වන සමාජවාදී “මාස්” පක්ෂයේ ජනාධිපති අපේක්ෂක “ලුයිස් ආර්ස්” නියත වශයෙන් ම මොරාලෙස්ගේ සගයෙකි.

මූලික ඡන්ද විමසීම්වල දී දෙවැන්නා වී තිබුණේ පුරවැසි ප්‍රජා සන්ධානයේ කේන්ද්‍රීය අපේක්ෂකයා වන, හිටපු ජනාධිපතිවරයෙකු වූ කාලෝස් මේසා ය. බොලිවියානුවන් ජනාධිපතිවරයෙකු, උප සභාපතිවරයකු සහ කොන්ග්‍රසයේ සාමාජිකයින් 166 දෙනෙකු මෙම මැතිවරණය හරහා තෝරා පත් කර ගැනීමට නියමිත ය. කිසියම් අපේක්ෂකයෙකු 50% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් නොවී නම්, නොවැම්බර් 29 වන දින ඉහළ ම තරඟකරුවන් දෙදෙනා අතරේ නැවත තරඟයක් පැවැත්වෙනු ඇත.

කොන්සර්වේටිව් සෙනෙට් සභික ජෙනින් ෂීස් 2019 නොවැම්බර් 12 වන දින අන්තර්වාර ජනාධිපති ධුරයට පත්වන විට, මොරාලෙස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර දින කිහිපයක් ගත වී තිබිණි. එවිට ඇය කියා සිටියේ 2019 ඔක්තෝබර් මැතිවරණය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා රට මෙහෙයවීම තම කර්තව්‍යය බවයි. මොරාලෙස් මහතා මතභේදාත්මක ව සිව්වන වරටත් ඉල්ලා සිටි මෙම ඡන්දය අවුල් සහගත, ගැටුම් සහ වංචා චෝදනාවලින් අවසන් විය. මැතිවරණ බලධාරීන් 2020 මැයි 3 වන දිනට නව මැතිවරණයක් පැවැත්වීමට නියම කළ නමුත් බොලිවියාව කොවිඩ් -19 හදිසි තත්ත්වයට යට වීමත් සමඟ එය සැප්තැම්බර් 6 දක්වා කල් තබන ලද අතර නැවත එය ඔක්තෝබර් දක්වා ද කල් තැබීමට සිදු විය.

මොරාලෙස්ගේ “මාස්” පක්ෂය සහ ෂීස්ගේ “දක්ෂිණාංශික අන්තර්වාර” ආණ්ඩුවේ විවේචකයින් මෙම මැතිවරණය, වසංගතය මධ්‍යයේ බලය අල්ලා ගැනීමට දරන උත්සාහයක් බව කියමින් චෝදනා කළහ. සාධාරණ මැතිවරණයක් පවත්වමින් බලය සාධාරණ ව පැවරීමට කටයුතු කරනවාට වඩා, දේශපාලන විරුද්ධවාදීන්ටත් විශේෂයෙන් පිටුවහල් කරන ලද මොරාලෙස් මහතාට හා ඔහුගේ මාස් පක්ෂයට ද ඔහුගේ ස්වදේශික ආධාරකරුවන්ට ද පීඩා කිරීමට ෂීස් පරිපාලනය වැඩි අවධානයක් යොමු කර ඇතැයි ඔවුහු පැවසූහ.

2002න් පසු පැවැත්වෙන, මොරාලෙස් මහතා ඡන්දය ප්‍රකාශ නොකළ පළමු ජනාධිපතිවරණය මෙය විය. 60 හැවිරිදි ඊවෝ මොරාලෙස්, දැනට ඔහු ජීවත් වන ආර්ජන්ටිනාවේ සිට මාස් පක්ෂයේ උද්ඝෝෂණවලට නායකත්වය දෙමින්, ආර්ස් මහතාට සහාය වෙමින්, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා සහ සමාජ මාධ්‍ය හරහා ඔහුගේ හඬ සහ අදහස් අසන්නට සැලැස්වීය. ඔහු ඊස් රජය හඳුන්වන්නේ දක්ෂිණාංශික ආඥාදායකයින් ලෙස ය.

මොරාලෙස් මහතා සැප්තැම්බර් අග දී පැවසුවේ ආර්ස් මහතා ජයග්‍රහණය කළහොත් ඔහුට පසුදා ම නැවත සිය රට වන බොලිවියාව බලා යාමට හැකි වනු ඇති බවයි. මාස් පක්ෂයේ ජයග්‍රහණය සහ මොරාලෙස් මහතා බොලිවියාවට නැවත පැමිණීම කලාපයේ පැරණි සහචරයින් වන කියුබාව, වෙනිසියුලාව සහ නිකරගුවාව වැනි වාමාංශික ජනාධිපතිවරුන් විසින් පිළිගැනීමට සූදානම් ව සිටිති. කෙසේ වෙතත්, එය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ලතින් ඇමරිකාවේ ට්‍රම්ප් අනුගාමිකයින් විසින් බොලිවියාවේ අඳුරු පරිච්ඡේදයේ නැවත ආරම්භයක් ලෙස සලකනු ඇති. මන්දයත් මොරාලෙස් මහතා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිළිබඳ ජීවිත කාලය පුරා ම දැඩි ව විවේචනය කළ අයෙකු වූ බැවිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author