Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බෂීර් සොරාකෑවා ද?

සූඩානයේ හිටපු ජනාධිපති “ඕමාර් අල් බෂීර්”ට එරෙහි ව නඩු පැවරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (අයි.සී.සී.) නියෝජිත පිරිසක් සුඩානයට පැමිණ තිබේ. ජන සංහාර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ යන චෝදනා මත අයි.සී.සී.ය විසින් බෂීර් හට නඩු පැවරීමට බලාපොරොත්තු වෙයි. මෙම නඩුව සඳහා බෂීර් හා එම පිරිස විසින් ලබා දෙන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිත පිරිස රට තුළ නැවතී සිටින බව සුඩානයේ අගමැතිවරයා පැවසීය.

හේග්හි දී ඔහු වෙනුවෙන් නඩු විභාගයක් පැවැත්වීමට හැකි බවට සුඩාන රජය එකඟ වී ඇතත්, ඒ සමඟ ම බටහිර කලාපයේ ඩාර්ෆූර්හි කැරලිකරුවන් සමඟ සාම ගිවිසුමක් යටතේ යුධ අපරාධ සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට ද එම රජය සූදානම් වෙමින් සිටියි. කෙටියෙන් කියතොත් සූඩාන රජය පැවසීමට උත්සාහ දරන්නේ තම ප්‍රශ්න තමන්ට ම විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ය.

දැනට කාර්ටෝම්හි නවාතැන් ගෙන සිටින අයි.සී.සී. කණ්ඩායමෙහි එක් සාමාජිකයෙකු වන ප්‍රධාන නීතිඥ ෆටූ බෙන්සූඩා පවසන්නේ පසුගිය 2003 වසරේ ඩාර්ෆූර්හි දී ඇති වූ කැරැල්ලෙන් එරට සිවිල් වැසියන් 300,000ක් පමණ මිය ගිය බවට එක්සත් ජාතීන්ගේ කමිටුව ගණන් බලා ඇති බව යි. ඊට ද වග කිව යුත්තේ බෂීර් බවට ඔවුහු චෝදනා කරති. ඒ අතර තවත් හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන “අහමඩ් හරූන්” සහ “අබ්දුල් රාහිම් මොහොමඩ් හුසේන්” යන අයට එරෙහි ව ද යුධ අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත.

මේ මස මුල දී වත්මන් අග්‍රාමාත්‍ය “අබ්දුල්ලා හැම්ඩොක්” විසින් “ෆයිනෑන්ෂල් ටයිම්ස්” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සුඩානය තුළ පිහිටුවා ගන්නා ලද දෙමුහුන් උසාවියක දී බෂීර් හට නඩු පැවරීමේ විකල්පය සම්බන්ධයෙන් තමා අයි.සී.සී.ය සමඟ සාකච්ඡා කළ බවයි.

76 හැවිරිදි බෂීර්ගේ රජය පසුගිය වසරේ දී මහජන විරෝධතා හේතුවෙන් පෙරළා දමනු ලැබිණි. මේ වන විට සුඩානය පාලනය කරන්නේ සංක්‍රාන්ති ආණ්ඩුවක් විසින්, ඉහළ සිවිල් හා හමුදා නායකයන් සමඟ තුන් අවුරුදු ගිවිසුමක් යටතේ ය. හිටපු නායකයා දැනටමත් රට දූෂණය කිරීම සඳහා වරදකරු වී ඇත. බෂීර් බලයට පත් කළ 1989 කුමන්ත්‍රණයට අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔහු සහ තවත් නිලධාරීන් 27 දෙනෙකු මේ වන විට කාර්ටෝම්හි දී නඩු විභාගයකට පෙනී සිටිති. එයින් වැරදිකරුවන් වුවහොත් ඔවුන් සියල්ලන්ට ම මරණීය දණ්ඩනය නියම විය හැකිය.

එහෙත් බෂීර් තමාට එරෙහි චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. මෙම වසර මුල දී ඔහුගේ නීතිඥයෙකු කියා සිටියේ බෂීර් සහ අනෙකුත් විත්තිකරුවන් මේ වන විට “සතුරු වාතාවරණයක් තුළ” දේශපාලන නඩු විභාගයකට මුහුණ දී සිටින බවයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි