Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බලාපොරොත්තු සුන් වූ මොරාලෙස්.

Bolivia's former president, Evo Morales, speaks at the Mexican Journalists Club, in Mexico City, on Nov. 27.

ජනාධිපතිවරණයේ දී වැරදි සහගත ලෙස ඡන්දය පාවිච්චි කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මහජන විරෝධතා මධ්‍යයේ මොරාලෙස් මහතා 2019 නොවැම්බරයේ බොලිවියාවෙන් පිටුවහල් වී සිටී. ඔක්තෝබර් 18 වන දින පැවති මැතිවරණය නැවත පැවැත්වීමට තම මාස් පක්ෂය සමත් වුවහොත් තමා නැවත බොලිවියාවට යන බව පෙර දී ඔහු පැවසීය. එහෙත් අදටත් ඔහුගේ එම බලාපොරොත්තු ඉටු වූ බවක් පෙනෙන්නට නැත. 

මොරාලෙස් මහතා බොලිවියාවෙන් ඉවත්වීමෙන් පසු දක්ෂිණාංශික සෙනෙට් සභික ජෙනින් ෂීස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්වාර රජයක් බලයට පත් විය. ඇය ඒ අවස්ථාවේ කියා සිටියේ මොරාලෙස් මහතා යුක්තියට මුහුණ දිය යුතු බවයි. දින කිහිපයකට පසු පැවැත්වුණු මතභේදාත්මක මැතිවරණයෙන් පසුව එළඹුණු සති කිහිපය තුළ මොරාලෙස් මහතා රට තුළ ගැටුම් ඇති කළ බවට අතුරු රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආටුරෝ මුරිලෝ චෝදනා කළේය.

විරුද්ධ දේශපාලන කණ්ඩායම් අතරත් විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරත් ඇති වූ ගැටුම්වලින් දුසිම් ගනණක් මිය ගියහ. හිටපු නායකයාගේ භූමිකාව “දේශද්‍රෝහී මෙන් ම ත්‍රස්තවාදයට සමාන බව” රජය කියා සිටියේය. එහෙත් මොරාලෙස් අසා සිටියේ විරෝධතාකරුවන්ගේ මරණ පිළිබඳව අතුරු රජය විමර්ශනය නොකරන්නේ මන්ද? යන්න යි.

මේ අතරතුර හිටපු ජනාධිපති ඊවෝ මොරාලෙස් වෙනුවෙන් දේශද්‍රෝහී හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පසුගිය වසරේ නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව බොලීවියාවේ විනිසුරුවරයෙකු විසින් අවලංගු කර තිබෙන බව ද සැල වේ. මොරාලෙස් මහතාගේ නීතිඥයා සාර්ථකව තර්ක කර තිබුණේ නඩුව නිසි ක්‍රියාදාමය අනුගමනය කර නොමැති බවයි. එනම්, ඔහු ආර්ජන්ටිනාවේ සැඟ ව සිටින ස්ථානය දැන සිටියත් මොරාලෙස් මහතාට අවශ්‍ය නඩු ලිපි ලේඛන නිසි පරිදි ලබා දී නොමැති බව යි. එබැවින් රජය විසින් ඔහුට එරෙහි ව නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරන ලදී. කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ කර නොමැති අතර පරීක්ෂණ දිගටම පවත්වාගෙන යනු ඇත. අනාගතයේ දිනෙක මෙම නඩුව සම්බන්ධයෙන් නියමිත වේලාවට බොලීවියාවේ උසාවියක පෙනී සිටින ලෙස මොරාලෙස් මහතා කැඳවීමට පැමිණිල්ල බලාපොරොත්තු වේ.

දේශද්‍රෝහී හා ත්‍රස්තවාදී පැමිණිලි මෙන්ම ඔහු ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට චෝදනා දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගෙන යනු ලැබුවේ අන්තර් රජය විසින් ඔහුට එරෙහිව කරන ලද දේශපාලන පළිගැනීමක කොටසක් ලෙස ය. ඔහු මේ වන තෙක් කිසිදු වැරැද්දක් ප්‍රතික්ෂේප කර නොමැති අතර අවසානයේ තමාට එරෙහි සියලු අපරාධ පැමිණිලි ඔවුන් විසින් ම ඉවත් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසීය.

මේ අතර, ජනාධිපති වශයෙන් තේරී පත් වූ ලුයිස් ආර්ස්, මොරාලෙස් මහතාගෙන් සැඟවී සිටින බව පෙනේ. මැතිවරණයෙන් පසු දින බී.බී.සී.යේ “නිව්ෂෝ” වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ ඔහුගෙන්, තමා “මොරාලෙස්ගේ රූකඩයක් ද?” යි විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ “මම ඊවෝ මොරාලෙස් නොවේ” යනුවෙනි. එහෙයින් නියත වශයෙන් ම බලාපොරොත්තු වූ පරිදි නැවතත් සිය රට යාමට මොරාලෙස් හට හැකි නොවනු ඇති බව නිගමනය කළ හැකි ය.