Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බැසිල්ට සම්බාධක.

ලෙබනනය දූෂණය කිරීමට මුල් වූවා යැයි සැලකෙන ඉහළ පෙළේ දේශපාලනඥයෙකුට ට්‍රම්ප් පරිපාලනය විසින් සම්බාධක පනවා තිබේ. “හිස්බුල්ලා” නම් ප්‍රබල ෂියා ව්‍යාපාරයට අනුබද්ධිත ක්‍රිස්තියානි පක්ෂයක් වන “නිදහස් දේශප්‍රේමී ව්‍යාපාරයේ” ප්‍රධානී, “ජෙබ්රාන් බැසිල්” මෙම සම්බාධකයේ ඉලක්කය වී තිබේ. 

මේ වන විට ලෙබනනය පවතින්නේ ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක ය. මහජන විරෝධතා, කෝවිඩ් වසංගතය සහ විනාශකාරී පිපිරීමකට මුහුණ දෙමින් රට මාස ගණනාවක් තිස්සේ නොසන්සුන්තාවයකට පත්ව ඇත. මේ වන විටත් එම දූෂණය හා අකාර්යක්ෂම දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂකයින් රට පුරා වීදි බැස ඇත. තව ද මේ වන විට එරට මූල්‍ය කඩාවැටීමකට ලක්ව ඇති අතර, වසංගතයේ ප්‍රතිඵල ද නරක අතට හැරී ඇත. අගෝස්තු මාසයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පාලක ප්‍රභූවන්ට එරෙහිව ඇති වූ දැඩි කෝපය හේතුවෙන් අද වන විට 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර 6,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. සම්බාධක නිවේදනය කරමින් එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්, “ස්ටීව් මුන්චින්” පැවසුවේ බැසිල් විසින් මූලිකත්වය දෙන ලද ලෙබනනයේ දේශපාලන ක්‍රමයේ පද්ධතිමය දූෂණය විසින් ලෙබනන් ජනතාවට සේවය කරන ඵලදායී රජයක පදනම විනාශ කර ඇති බව යි. එහෙයින් එක්සත් ජනපදය ලෙබනන් ජනතාව බේරා ගැනීම සඳහා සම්පූර්ණ සහාය දක්වන බව ඔහු තවදුරටත් කියා සිටියේ ය.

සම්බාධකය පැමිණවීමෙන් ටික වේලාවකට පසු බැසිල් මහතා ට්විටර් වෙබ් අඩවිය තුළින් අපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීය.

“සම්බාධක මා බිය ගැන්වූයේ නැත. පොරොන්දු මා පොළඹවා නැත” යනුවෙන් ඔහු අරාබි භාෂාවෙන් පළ කළේය.

“මම කිසිම ලෙබනන් ජාතිකයෙකුට එරෙහිව නොයන්නෙමි. ලෙබනනය විනාශ වනු ඇත. මම එය බේරා ගන්නේ නැත.”

මේ වන විට එරට වෙසෙන බටහිර හිතවාදී සුන්නි දේශපාලනඥයෙකු වන සාද් හරිරි නව රජයක් පිහිටුවීමට උත්සාහ කරමින් සිටියි. එහෙයින් මීළඟ රජය පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී බැසිල් මහතාට එරෙහි සම්බාධක ඔහුට වඩාත් අවාසිදායක වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. හිස්බුල්ලා ව්‍යාපාරය සහ 2006 සිට බැසිල් මහතාගේ මාමණ්ඩිය වන ජනාධිපති මයිකල් අවුන් විසින් ආරම්භ කරන ලද නිදහස් දේශප්‍රේමී ව්‍යාපාරය (එෆ්.පී.එම්.) සමීප මිතුරෝ ය. මෙම ව්‍යාපාරය මඟින් ලෙබනන් පාලක සන්ධාන වෙත සැලකිය යුතු බලයක් සහ බලපෑමක් ඇති කර තිබේ.

එක්සත් ජනපදය සහ අරාබි රාජ්‍යයන් ඇතුළු තවත් බොහෝ රටවල් ඉරානයේ උදව් ලබන හිස්බුල්ලා ව්‍යාපාරය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත්තේ ඔවුන් විදෙස් රටවලට ප්‍රහාර එල්ල කර ඇති බවට ලැබෙන තොරතුරු හේතුවෙනි. හිස්බුල්ලා ව්‍යාපාරයට ද්‍රව්‍යමය ආධාර සැපයීම සහ දූෂණයට සම්බන්ධ බවට චෝදනා කරමින් මෙයට මාස දෙකකට පෙර දී ද එක්සත් ජනපදය හිටපු ලෙබනන් රජයේ ඇමතිවරුන් දෙදෙනෙකුට සම්බාධක පැනවීය. ඉන් එක් අයෙකු ක්‍රිස්තියානි මරදා පක්ෂයේ සාමාජිකයෙකු වන අතර අනෙකා ෂියා මුස්ලිම් අමල් ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. දෙදෙනාම හිස්බුල්ලා දේශපාලන සගයන් ය. කෙසේ වෙතත් ඇමරිකාවේ බල පෙරළියත් සමඟ ඉදිරියේ දී ඇතැම්විට මෙම තත්ත්වය වෙනස් වනු ඇත.