Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අයිවරි කොස්ට් විපක්ෂ නායක හිරේ.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණය වර්ජනය කිරීමෙන් පසු සමාන්තර රජයක් පිහිටුවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අයිවරි කෝස්ට්හි විපක්ෂ නායක “පැස්කල් අෆි නුගුසාන්” අත්අඩංගුවට ගෙන තිබේ. 2000 – 2003 දක්වා ජනාධිපති ලෝරන්ට් ගැබග්බෝ යටතේ අගමැතිවරයා ලෙස සේවය කළ මොහු මේ වන විට අකූප් නගරය තුළ රඳවා සිටින බව පැවසේ. එනමුත් මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ අයිවෝරියානු බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පෙනේ.

ජනාධිපති ඇලසැන් ඔටාරා නැවත තේරී පත්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු ම ත්‍රස්තවාදය සහ දේශද්‍රෝහීත්වය පිළිබඳ චෝදනාවන්ට ලක් ව සිටිති. ඔවුන් පවසන්නේ ඔටාරා තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරඟ කිරීම හේතුවෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවයි. එහෙත් ජනාධිපති ඔටාරා සිය තීරණය නිවැරදි බව ප්‍රකාශ කරමින් කියා සිටියේ 2016 දී නව ව්‍යවස්ථාවක් මගින් ඔහුගේ වරම නැවත ආරම්භ කළ බවත්, එයින් අදහස් වන්නේ ඔහුට නැවත ජනාධිපති ධූරය සඳහා ඉල්ලිය හැකි බවත් ය. ඔක්තෝබර් 31 වන දින පැවැති ඡන්ද විමසීමේ දී ඔහු 94%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට රට ගොදුරු වේදෝ යන බිය යළිත් ඇති කරමින් අගෝස්තු මාසයේ සිට ඇති වූ ගැටුම්වලින් අද වන විට අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබේ. පසුගිය සතියේ ජාතික සංක්‍රාන්ති කවුන්සිලයක් (සී.එන්.ටී.) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ප්‍රධාන නගරය වන අබිජන්හි පිහිටි විපක්ෂ නායකයින් කිහිප දෙනෙකුගේ නිවාස ආරක්ෂක අංශ විසින් වට කරනු ලැබීය. 

පසුගිය මාසයේදී නුගුසාන් මහතා සහ හිටපු ජනාධිපති හෙන්රි කොනන් බේඩික් විසින් එළඹෙන මැතිවරණය වර්ජනය කරන බව ප්‍රකාශ කළහ. අදාළ වර්ජනය නිවේදනය කිරීමටත් විරෝධතාව දැක්වීමටත් පෙර නුවෙසන් මහතා අයිවරියන් ජනප්‍රිය පෙරමුණු පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉල්ලුම් කර තිබිණි. 2010 දී අයිවරි කෝස්ට් රාජ්‍යය සිවිල් යුද්ධයකට ඇද වැටුණේ ජනාධිපති ග්බග්බෝ එම වසරේ මැතිවරණයේ දී ඔටාරා මහතාට පරාජය වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ය. මෙම සටනේදී 3,000කට අධික පිරිසක් මිය ගියහ. නුගුසාන් මහතාගේ බිරිඳ පැවසුවේ පොලීසිය ඔහු සොයන බව රජයේ නීතීඥවරුන් විසින් තහවුරු කර තිබුණු අතර, ඉක්බිතිව රජය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි. එනමුත් ඔහු රඳවා සිටින්නේ කොහේදැයි තමා නොදන්නා බව ද ඇය පවසන්නී ය.

නුගුසාන් මහතාගේ ප්‍රකාශකයෙකු වන ජිනීවිව් ගොට්සින්ගර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම උපන් ගම වන බොන්ගුවානෝ වෙත යමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. ඡන්දය කල් දමා සාකච්ඡා පැවැත්විය යුතු බවට කළ ඉල්ලීම ජනාධිපති ඔටාරා විසින් ප්‍රතික්ෂේප කෙරිණි. ඔහු මුලින් කියා සිටියේ තමා තරඟයෙන් ඉවත් වන බවයි. නමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ “අමාඩෝ ගොන් කූලිබාලි” ජූලි මාසයේ දී හෘදයාබාධයකින් මිය ගිය පසු ඔහු සිය ස්ථාවරය වෙනස් කළේය.

මේ අතර එක්සත් ජාතීන්, අප්‍රිකානු සංගමය සහ බටහිර අප්‍රිකානු කණ්ඩායම වන “ඉකෝවාස්” යනාදී සියලු කණ්ඩායම් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ සියලු දේශපාලන කණ්ඩායම් සංයමයෙන් යුතුව කටයුතු කරමින් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගන්නා ලෙස ය.