Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බන්දුල – G L ගැටෙයි , ශිෂ්‍යත්වයේ පාසල් කඩයිම් ලකුණු පිළිබද සැකයක් – බන්දුලත් කඩයිම් ලකුණු වලට බලපෑම් කරලා

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකුද වන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සැක පළකර තිබෙනවා.

ඔහු සදහන් කරන්නේ එම ක්‍රමවේදය සැක සහිත බැවින් එහි නිර්ණායක රටට හෙළි කිරීමට අදාල බලධාරීන් වහා පියවර ගත යුතු බවයි.

එමෙන්ම 2015 වසරේ සිට මේ දක්වා සහ ඊට පෙර පාසල් කඩයිම් ලකුණු තීරණය කිරීම පිළිබඳව ද සොයා බැලිය යුතු බවයි ඔහු පවසන්නේ.

වැඩි දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන අමාත්‍යවරයා,

“දැන් දීර්ඝ කාලයක පටන් පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ලකුණු මට්ටම් තීරණය කරන්නේ කුමණ නිර්ණායක පදනම් කරගෙන ද?, කුමණ සූත්‍රයකට අනුවද? කවර ආකාරයකට ද කියන එක පිළිබඳ කිසිම පැහැදිළි කිරීමක් කරන්නේ නෑ. දෙමව්පියෝ, දරුවෝ, ආචාර්ය මණ්ඩල, ගුරුවරු නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ බලවේගව විසින් හසුරුවනු ලබන විවිධ පාර්ශ්වයන්ගේ ඕන එපාකම් අනුව මේ තීරණයවන බවක් තමයි මට හැඟෙන්නේ. මෙවරත් එළෙසින්ම ජනප්‍රිය පාසල්වලට ලකුණු දීලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?” යනුවෙන්ද සදහන් කළා.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය G.L පීරිස් මහතාගේ ද අවධානයට යොමුව ඇති අතර මේ වන විට එය මත ගැටුමක් කරා උඩුදුවමින් පවතින බවද වාර්තාවනවා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කඩයිම් ලකුණු කෘතිමව ඉහල නැංවීමට බල කළ බවට ඇමති බන්දුලටත් චෝදනා.

කෙසේ වෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුලික වී ඔහු නියෝජනය කරන හෝමාගම ආසනයේ පිටිපන ඉදිකළ මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඉහලින් තබා ගැනීම සඳහා ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ සමයේදී නිලධාරීන්ට බලපෑම් කර ඇති බව ද හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද අවස්ථා කිහිපයකදී හෙළි කර තිබුණේ අදාල බලපෑම් පිලිබඳ නිලධාරීන් විසින්ම තමාට කරුණු හෙළිකළ බව පවසමින්.

කඩයිම් ලකුණු ප්‍රසිද්ධ කිරීමට පෙර ඒවා සංශෝධනය කර තමා මුලික වී නිර්මාණය කල පාසලට විශේෂත්වයක් ලබා දීමට ඔහු කටයුතු කල බවටයි ඔහුට චෝදනා එල්ල වුණේ.

කෙසේ වෙතත් මෙවැනි සංවේදී කරුණු පිළිබඳ සත්‍ය තත්වය වහා පරීක්ෂණයක් සිදු කොට ජනතාව හමුවේ අනාවරණය කිරීමේ වගකීම සියළුදෙනා හට පැවරෙන්නේ මේ හරහා දරුවන්ගේ අනාගත ඉරණම තීරණය වන බැවිනුයි.