Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නූල් ඇද නහය සූරමු.

1.කපු නූලෙන් නාසය සුද්ද කිරීම. 

ඔබ දිනපතා ඔබේ නාසය පිරිසිඳු කර ගන්නේ කෙසේ ද? දෙතුන් වරක් සූරා දැමීමෙන් පමණක් ම නොවේ ද? එහෙත් යෝගා පුහුණුකරුවන් සතුව ඔබේ නාසය සඳහා එයට වඩා සාර්ථක ප්‍රතිකර්මයක් තිබේ.

 මෙය හඳුන්වන්නේ “සූත්‍ර නෙටි” යනුවෙනි. මෙය එක්තරා ආකාරයක කපු නූල් පොටක් හෝ රබර් කැතීටරයක් ලෙස සැලකිය හැකි ය. අදාළ නූලේ එක් කොනක් ඔබේ නාසයේ එක් ගුලක් අතරින් රිංගවිය යුතු වේ. දිගින් දිගට ම එසේ රිංගවමින් ඔබ උත්සාහ කළ යුත්තේ එම කෙළවර උගුර හරහා කටින් ඉවතට ගැනීමට ය. එසේ කටින් හා නාසයෙන් පිටතට පැමිණ තිබෙන දෙකෙළවරින් අල්ලාගෙන වරකට එක කෙලවර බැගින් ඉවතට ඇදීමෙන් ඔබේ නාසය පිරිසිඳු වනු ඇත.

 ඇසෙන විටත් සිරුර ම කිළිපොලා යන මෙම ප්‍රතිකර්මය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ජනප්‍රිය වී ඇත. යෝගා ඉගැන්වීමේ යෙදෙන ස්ථානවල දී නම් අනිවාර්යයෙන් ම මෙය දැකීමට හැකි ය. ඔවුන් පවසන්නේ මෙය ඉතා ලෙහෙසි පහසු කාර්යයක් බව යි. එහෙත් මුල් අවධියේ දී නියත වශයෙන් ම ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ සිදු කළ යුතු ය. 

 හොඳින් පුහුණු වූ පසු නූලේ කෙළවර නාසයෙන් ඇතුළු කොට කටින් ඉවතට ගනු වෙනුවට එක් නාස් ගුලකින් ඇතුළු කොට අනෙක් නාස් ගුලෙන් ඉවතට ගැනීමට හැකි වනු ඇත. එවිට මෙම ප්‍රතිකර්මය වඩාත් ප්‍රතිඵලදායී වේ. මෙමගින් පිටතට පෙනෙන නාසය පමණක් නොව, එහි ඇතුළත කුහර ද නාසය හා උගුර සම්බන්ධ ප්‍රදේශය ද යන සියලු ස්ථාන පිරිසිඳු කිරීමට හැකි වන බැවින් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ ද “සූත්‍ර නෙටි” යනු බොහෝ ප්‍රායෝගික උපක්‍රමයක් බව ය. මේ වන විට යෝගා පුහුණුකරුවන් මෙන් ම සූත්‍ර නෙටි භාවිතය පිළිබඳ විශේෂ පුහුණුව ලැබූ වෛද්‍ය සහායකයෝ ද මෙම ක්‍රියාවලිය සමාජගත කිරීම සඳහා රට පුරා වැඩමුළු දියත් කරමින් සිටිති. ගැටලුව වන්නේ ඔවුන් නාසයට නූලක් දමා අදිනු දකිනා පුද්ගලයින් මෙම ප්‍රතිකර්මය ලබා ගැනීමට සිහිනෙකින්වත් නොසිතීම ය.

2. රේල් පීලි උඩ නිදියන ඉන්දුනීසියානුවෝ.

ඔබේ අසනීපය සුව කළ නොහැකි එකක් යැයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති විටෙක, ජ්‍යෝතිශඥටයකු නැතහොත් හොර වෙදෙකු වුව ද පවසන ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට ඔබ පසුබට නොවනු ඇත. ඉන්දුනීසියාවේ පිහිටා තිබෙන “රාවා බුආ” නමැති ප්‍රදේශය හරහා දිවෙන රේල් පීලි සම්බන්ධ කතාව ද මෙයට සමාන ය. දිනපතා වරින් වර අවම වශයෙන් එක් පුද්ගලයෙක් බැගින් හෝ මෙම රේල් පීලි සොයා පැමිණෙයි. ඒ, සිය සුව නොවන රෝගයට සහනය ලබා ගනු පිණිස රේල් පීලි ප්‍රතිකර්මය ලබා ගැනීමට ය. 

මෙම ක්‍රමය ඉතා පහසු ය. රෝගියා කළ යුත්තේ දුම්රියක් පැමිණෙන තෙක් රේල් පීලි හෙවත් යකඩ කඳන් දෙක මත දිගා වී සිටීම ය. එවිට දුම්රියේ දෙදරීම හරහා එයට දැනෙන කම්පනයෙන් ඔබේ ශරීරයේ ඇති ඕනෑම රෝගයක් සුව කෙරෙනු ඇත. දුම්රිය තමා වෙත ළඟා වීමට පෙර එතැනින් නැඟිට පැන දිවීමට තරම් ඔබ ශක්තිමත් විය යුතු බව ද සිහි තබා ගැනීම අවශ්‍ය වේ. 

මෙය ඉතා අභව්‍ය අනාවැකියකි. ඉන්දුනීසියානු වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ ද ඔය කියනා අන්දමින් රෝග සුව කළ නොහැකි බව ය. එහෙත් අවසන් බලාපොරොත්තුවත් අහිමි ව ගිය රෝගියෙකුගේ හිත සැනසීම පිණිස ඔබට කළ හැක්කේ කුමක් ද? අනෙක් අතට එම ක්‍රියාව ඉතා අනතුරුදායක බව ද ඉතා පැහැදිලි ය. හදිසියේවත් දුම්රියකට යට වුවහොත්?  

එහෙත් මෙම කම්පන ප්‍රතිකාරය පිළිබඳ විශ්වාසය තබනා රෝගීන් ඊට බියවන්නේ නැත. ඔවුන්ගේ සුවය වෙනුවෙන් තිබෙන අන්තිම තුරුම්පුව රේල් පීලි පමණකි. මෙවැන්නක් විශ්වාසයට පැමිණියේ කෙසේ ද යන්න ගැන පැහැදිලි සාක්ෂියක් ද නැත. පසුගිය සමයේ පොලිසියේ මැදිහත් වීමෙන් මෙම භයානක ක්‍රියාවලිය තහනම් කෙරුණ ද අදටත් එකා දෙන්නා “රාවා බුආ”හි රේල් පීලි පිළිබඳ විපරම් කරනු දැකිය හැකි වේ.

 ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author