Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැරෙන්න එපා; ජීවත් වෙන්න.

“විශාදය කියන්නෙ මානසික ආතතිය නෙ. ඕක ඉතින් හැමෝටම තියෙනවානේ. එහෙම කියලා දිවි නහගන්නෙ මෝඩයෝ. ප්‍රශ්නවලින් පැනලා යන්නේ බයගුල්ලෝ…” 

යනුවෙන් විශාදයෙන් පෙළෙන්නන් අවමානයට පත් කරන පුද්ගලයින් අප සමාජය තුළ සුලබ ය. එහෙත් ඔබ අප දන්නා මානසික ආතතිය යනු විශාදයේ මුල් අවස්ථාව පමණි. ඕනෑම පුද්ගලයෙකු සිය ජීවිත කාලය තුළ දී මුහුණ දෙන විභාග අසමත්වීම්, විරහව, මූල්‍යමය කඩා වැටීම් ආදිය හේතුවෙන් දැනෙන සිත් වේදනාව විශාදය නොවේ. ඒවා සැලකිය යුතු කලකින් දුරු වී යයි. විශාදය බවට පත්වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ සිතෙහි තැන්පත් ව පවතින ශෝකීභාවය යි. මෙයට හේතු බොහොමයකි. 

1.හිංසනය – කලක් මුළුල්ලේ පීඩා විඳින කායික, මානසික හා/හෝ ලිංගික හිංසනය.

2. ඖෂධ – කුරුලෑ සඳහා යොදා ගන්නා “අයිසොට්‍රෙටිනොයින්” හා “ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා” වැනි ප්‍රතිවෛරස ඖෂධ.

3.අහිමි වීම් – ආදරණීයයෙකුගේ මරණය හෝ වෙන් වීම.

4.පරම්පරාගත ජාන.

5.හුදෙකලාව – පෞද්ගලික ගැටලු, කොන් වීම, නෙරපා හැරීම, අපහාස විඳීම, විහිළුවට ලක් වීම.

6.බරපතල හෝ සුව කළ නොහැකි රෝග.

7.මත්ද්‍රව්‍ය.

8.පුරුදු ජීවිතය වෙනස් වීම.

9. ආර්තවහරණය.

මෙවැනි ගැටලුවක් ඇති වූ වහාම ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් ය. අවම වශයෙන් හිතවතෙකු හෝ කතා කිරීමවත් කළ යුතු ය. 

විශාදයට ලක්වූවෙකුගේ ප්‍රධාන ලක්ෂණ වනුයේ,

දීර්ඝකාලීන කණස්සලු ස්වභාවය.

අධික විඩාව හා

නොසතුට යි.

ඒ හැර මෙවැනි වේදනාවකින් පෙළෙන පුද්ගලයෙකු හඳුනා ගත හැකි ලක්ෂණ බොහොමයකි.

1.අමතක වීම, මානසික ඒකාග්‍රතාවයක් නොමැති වීම.

2. අවිනිශ්චිතබව, තමා නොවැදගත් බව සිතීම, අසුබවාදී ආකල්ප.

3. නිතර මරණය ගැන කතා කිරීම, දිවි නසා ගැනීමට උත්සාහ කිරීම, අත් පා කපා ගැනීම වැනි ශරීරයට කරගන්නා හානි.

4. ආහාර අරුචිය, නින්ද නොයාම, අලසකම.

5. මිතුරු ඇසුර අප්‍රිය වීම, ඉක්මන් කෝපය, නුරුස්නා බව.

6. ලිංගික ආශාවන් හීන වීම.

7. ඇඟපත, උදරය, පපුව හා හිසේ වේදනාව, ඔක්කාරය.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙවැනි ලක්ෂණ තිබෙන විට වහාම උපදේශනය වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය ය. වඩා වැදගත් වන්නේ විශාදයට පත් වීමට පෙර එය වළක්වා ගැනීම යි. තමා විශාද තත්ත්වයට පත් වන්නට යන බව තේරුම් ගත් විට අනුගමනය කළ හැකි උපක්‍රම කිහිපයකි.

1.රටාවකට හුරු වන්න. එකක් අවසන් වන විට තවත් එකක් වශයෙන් ජීවන රටාවකට හුරු වූ විට කල්පනා කිරීමට ඇති කාලය අඩු වේ.

2. ඉලක්ක සොයා යන්න. කිසිවක් කරගත නොහැකි බව සිතීමෙන් විශාදය බරපතල වනු ඇත. එබැවින් අවම වශයෙන් දිනකට එක ඉලක්කය බැගින්වත් සාදාගෙන, දවස අවසානයේ දී එය සපුරා ගන්න.

3. ව්‍යායාම කරන්න. එමඟින් ශරීරයට අමතර උත්තේජනයක් ලැබෙනු ඇත. දිනකට මීටර කිහිපයක් ඇවිදීම වුව ද ප්‍රමාණවත් ය.

4. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. ඔමේගා 3 මේද අම්ල (සැමන්) හා ෆෝලික් අම්ලය (නිවිති, අලිගැටපේර) ඉතා වැදගත් ය. අවම වශයෙන් ඔබ කැමැති ආහාරයක්වත් කෑමට උත්සාහ කරන්න. එයින් සිත සතුටු වනු ඇත.

5. නිදන්න. කෙටි නින්ද කිහිපයක් නොව එක් දීර්ඝ නින්දක් ලබා ගන්න.

6. වගකීම් සහගත වන්න. රැකියාවෙන් හෝ පාසලින් ඉවත් වන්න එපා. දින භාගයක්වත් වගකීම් සහිත වැඩක යෙදෙන්න.

7. අසුබවාදී සිතිවිලිවලට අභියෝග කරන්න. වඩා වැදගත් වන්නේ ඔබේ මනස නැවත ගොඩනඟා ගැනීමයි. එබැවින් සිත බිඳවැටෙන හැඟීමක් ඇති වූ වහාම හිතවතෙකු මාර්ගයෙන් හෝ එය ඉවත් කර ගැනීමට උත්සාහ කරන්න.

8. අලුත් යමක් අරඹන්න. සංචාරය කරන්න. වේදනා දෙන පරිසරයෙන් ඈත් වන්න. සිතට සතුට ගෙන දෙන ඕනෑම දෙයක් කරන්න.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් විශාද රෝගීන් ලක්ෂ අටක් පමණ සිටින බවට වාර්තා වේ. ඕනෑම මනෝ වෛද්‍යවරයෙකු මෙන් ම උපදේශන ආයතන ද ඔබේ වේදනාවට සවන් දීමට සූදානම් ව සිටිති. එබැවින් සැලකිලිමත් වී ඔබේ මනස බේරා ගන්න.

දු.අ. – 

සුමිත්‍රයෝ – 0112 682 535

පදනම උපදේශන සේවාව – 1333 / 0112 692 909

ශ්‍රී ලංකා ළමා සංවර්ධන ආයතනය –  0117 490 000

ශ්‍රීනි ලංකා ජයකොඩි.