Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අභියෝගවලට බය ආමිර්.

පහුගිය කාලේ බොලිවුඩ් සිනමාවට එක් වුණු “රඟදේ බසන්තී”, “ෆනා”, “තාරේ සමින් පර්”, “ගජිනි”, “3 ඉඩියට්ස්” වගේ චිත‍්‍රපටි ඔක්කොම එක වගේ ජනප‍්‍රිිය වුණා. ඒ විතරක් නෙවෙයි, කවුරුත් නොහිතුව විදිහට ඒ හැම චිත‍්‍රපටයක් ම බොක්ස් ඔෆිස් වාර්තා එක දිගට බිඳ හෙළුවා. මේ චිත‍්‍රපට පහේ ම එක සමානකමක් තියෙනවා. ඒ තමයි ආමිර් ඛාන් කියන සුපිරි තරුවගේ දායකත්වය.

  • අපි පොඩ්ඩක් අතීතයට යමු. ඔයා රඟපෑව “3 ඉඩියට්ස්” චිත‍්‍රපටය ලෝක වාර්තා බිඳ හෙළමින් තිරගත වුණා. මොනවද ඒ ගැන කියන්න තියෙන්නේ?

            මට හරි ම සතුටක් දැනුණා. මට විතරක් නෙවෙයි, රාජු, විනෝද්, ඒ වගේ ම චිත‍්‍රපටයට සුළුවෙන් හරි සම්බන්ධ වුණු හැම කෙනෙකුට ම මේ ගැන මහ විශාල ආඩම්බරයක් දැනෙන්න ඇති. මොකද කියනවා නම් අපි මේ චිත‍්‍රපටය හැදුවේ සෑහෙන්න වෙහෙස මහන්සි වෙලා, ඒ වගේ ම ආදරයෙන්. මේකෙන් අපි කියන්න හැදුවේ මේ ලෝකේ ජීවත් වෙද්දී අපි අනිත් අය ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ කියන එක. රසිකයන්ට දැනෙන්න ඇත්තේ “3 ඉඩියට්ස්” චිත‍්‍රපටය තමන්ගේ ම ජීවිතයේ කොටසක් විදිහට යි. ඒ ගැනත් අපට සතුටුයි.

  • හොඳයි, ඔයා නිකමටවත් හිතුවද “3 ඉඩියට්ස්” චිත‍්‍රපටය හින්දි සිනමා රසිකයන් අතර විතරක් නෙවෙයි, පිටරටවලත් මේ තරම් ම ජනප‍්‍රිය වෙයි, එයාලගේ අවධානයත් දිනා ගන්න ලැබෙයි කියලා?

            මම මුල ඉඳලා ම චිත‍්‍රපටය ගැන සෑහීමකට පත් වෙලා හිටියේ. පිටපත ලැබුණු වෙලාවේ ඉඳලා ම මට දැනුණා මේක එසේ මෙසේ චිත‍්‍රපටයක් නෙවෙයි කියලා. වැඩ ඉවර වෙලා පළවෙනි දර්ශනය නරඹපු වෙලාවේ මට හරි සැහැල්ලුවක් දැනුණා, අපි නියම චිත‍්‍රපටයක් හැදුවා කියලා. රාජුත් මට ඒක කිව්වා. එදා මට පුංචි හීනයක් තිබුණා, “3 ඉඩියට්ස්” චිත‍්‍රපටයත් “ගජිනි” වගේ ම වාර්තාගත වේවා! කියලා. මොකද ගජිනිත් ගොඩක් හොඳ චිත‍්‍රපටයක්. ඒ වගේ ම වාර්තාගත චිත‍්‍රපටයක්. ඉතින් මම ප‍්‍රාර්ථනා කළා මේකටත් එතනට යන්න ලැබුණා නම් සහ, සමහර විට ගජිනි ව ටිකක් පහු කරගෙන යන්නත් ලැබුණා නම් කොයි තරම් හොඳද කියලා. අපි පොඩිපහේ සමීක්ෂණයකුත් කළා ඒ ගැන. සුබදායක ප‍්‍රතිචාරත් ලැබුණා. ඒත් බලනකොට මේ චිත‍්‍රපටය ගජිනිට වඩා 40%ක් විතර ඉහළට ගියා නේ. ඇත්තට ම මම එහෙම දෙයක් නම් බලාපොරොත්තු වුණේ ම නැහැ.

  • ඔයා රඟපාන චිත‍්‍රපට මේ තරම් ලෝක වාර්තා බිඳ හෙළන්නේ ඇයි?

            ඒක නම් දන්නේ නැහැ. එ්ත් මම කොයි වෙලාවකවත් ඔය අංක සෙල්ලම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මම යම් චිත‍්‍රපටයකට සම්බන්ධ වුණා නම්, හැම තිස්සෙම හිතන්නේ හැකි උපරිමයෙන් මගේ දායකත්වය ඒකට ලබා දෙන්න  ඕනේ කියලා. මම කලින් රඟපෑව එකට වඩා ටිකක් හරි හොඳට ඊළඟ එක කරන්න උත්සාහ කරන බව නම් ඇත්ත. දැන් බලන්න, මම ගජිනි චිත‍්‍රපය කරද්දී හිතුවේ නැහැ, ඒක මම කලින් කරපු රඟදේ බසන්තී සහ ෆනා චිත‍්‍රපට දෙකට වඩා වැඩි ප්‍රේ‍රක්ෂක සංඛ්‍යාවක් අද්දවා ගන්න හිතාගෙන කරනවා කියලා. මම උපරිම හොඳට රඟපෑවා විතරයි. කෙටියෙන් කියනවා නම් තාරේ සමීන් පර් වගේ පොඩි චිත‍්‍රපටයකට, ලොකු ලොකු චිත‍්‍රපට එක්ක තරඟ කරන්න පුළුවන් වෙයි කියලා කවුද හිතුවේ? අන්න ඒ වගේ, මම හැම තිස්සෙ ම හිතන්නේ කොහොමද හොඳ චිත‍්‍රපටයක් කරන්නේ කියලා. මම කිසිම චිත‍්‍රපටයක් එක්ක තරඟ කරන්න උත්සහ කරන්නේ නැහැ. ඔය අංක සෙල්ලම ඇත්තට ම රඳා පවතින්නේ චිත‍්‍රපටය කරන අය මත විතරක් නෙවෙයි නේ. ඒකට තව කී දෙනෙක් සම්බන්ධ වෙන්න  ඕනේ ද…

  • ආමිර්, හුඟ දෙනෙක් කියනවා “තාරේ සමීන් පර්” සහ “3 ඉඩියට්ස්”‍ අතර සමානකම් තියෙනවා කියලා. ඒ කිව්වේ දෙමාපියන් දරුවන් ලවා තමන්ගේ සිහින සැබෑ කර ගන්න උත්සහ කරන එක වගේ දේවල්.

            ඇත්ත. ඒත් චිත‍්‍රපට දෙකේ කතාව අතර නම් තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්. එකකින් කියන්නේ පොඩි ළමයෙක් ගැන. අනික වැඩිහිටි ශිෂ්‍යයන් ගැන. ඒත් දෙක ම කතා කරන්නේ අධ්‍යාපනය ගැන, ඒ වගේ ම දරුවෙකුට ඇත්තට ම සතුටක් ලැබෙන්නේ කොයි වගේ දේවල්වලින් ද කියන එක. අන්න එහෙම දෙයක් තමා ඇත්තට ම ඒ දරුවාට කරන්න දෙන්නත්  ඕනේ. චිත‍්‍රපට දෙකේ ම තේමාව එක සමානයි. ඒ වගේ ම අපි කියන්න උත්සහ කරනවා ශ්‍රේණිගත අධ්‍යාපනය කොයි තරම් නොවැදගත් ද කියන එක. එ්කෙන් වෙන්නේ හැම දරුවෙක් ම තමන්ගේ සිහින අතහැරලා ලකුණු සීයක ඉලක්කයක් හඹාගෙන යන්න උත්සහ කරන එක. ඒත් අතේ ඇඟිලි පහ එකිනෙකින් වෙනස් නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එයාලට එයාලාගේ ම කියලා ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙට ඇතුළු වෙන්නේ කොයි තරම් වේගයකින් ද කියන එක තීරණය කරන්න  ඕනෙත් ඒ දරුවන් ම යි.

  • ඔබේ “3 ඉඩියට්ස්” චිත‍්‍රපටයේ ජනප‍්‍රියත්වයට හේතුව මොකක් ද?

            මම හිතන්නේ ඒකට හේතුව රාජු හිරාණි. සිනමාවට හැම තිස්සෙම එක එක ජාතියේ චිත‍්‍රපට එනවා. සමහර ඒවා බල බල අපි අඬනවා. සමහර විට හිනා වෙනවා. ඒත් රාජු උත්සහ කළේ තමා තුළ තියෙන මනුස්සකම චිත‍්‍රපටයට ඇතුළු කරන්න. රාජුගේ මුන්නා භායි චිත‍්‍රපට මාලාව ගත්තත් අපිට ඒ බව පැහැදිලි ව පේනවා. මට දැනෙන විදිහට 3 ඉඩියට්ස්  චිත‍්‍රපටයට කවුරු හරි යම් ලකුණු ගණනක් දෙනවද, ඒ ඔක්කොම යන්න  ඕනේ රාජුට. රාජු තමන්ගේ චිත‍්‍රපටයේ දුෂ්ටයා දිහා බලන්නෙත් ආදරයෙන්.

  • ඒත් හැමෝම කියන්නේ ඔයාගේ උත්සහය නිසා ඔයා රඟපාන චිත‍්‍රපට ඔක්කොම බොක්ස් ඔෆිස් වාර්තා දක්වා යනවා කියලා.

            මේකයි, මම කියන්නේ නැහැ මම මහන්සි වෙන්නේ නැහැ කියලා. ඒත් ඒක විතරක් නෙවෙයි කාරණය. වාසනාවට ද මන්දා මට ලැබෙන්නේ හොඳ කතාවක් තියෙන චිත‍්‍රපට. ඉතින් කතා ලියන්නේ මම නෙවෙයි නේ. මම නම් හිතන්නේ නළුවා විතරක් නෙවෙයි අධ්‍යක්ෂවරයා, ආලෝකකරණය කරන අය, ඒ විතරක් ද? තේ අල්ලන කෙනා පවා චිත‍්‍රපටයක සාර්ථකත්වයට දායක වෙනවා.

  • චිත‍්‍රපට අධ්‍යක්ෂවරු කියන විදහට නම්, ආමිර් එක්ක වැඩ කරන එක හරි පහසුයි.

            නෑ, ඉතින් මේකයි. චිත‍්‍රපටයක් හදනවා කියන්නේ හුඟක් අමාරු වැඩක්. ඒක මම දන්නවා.ඒ නිසා මම වැඩ කරන වෙලාවට එතන ඉන්න කිසිම කෙනෙකුට බණින්නේවත්, අරක වැරදියි-මේක වැරදියි, එහෙමත් නැත්නම් මට අරක-මේක  ඕනේ කිය කියවත් කෑ ගහන්නේ නැහැ. කොච්චර දන්නවා වුණත් අපටත් වරදින අවස්ථා තියෙනවා.

  • ඔයාගේ අතට ලැබෙන පිටපත භාර ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයා ම ද? නැත්නම් වෙන කෙනෙක් ද?

            මම. මොකද පිටපත් කියවද්දී මම හැම තිස්සෙ ම ප්‍රේ‍රක්ෂකයාගේ තැනට යනවා. මේ මේ තැන්වල ප්‍රේ‍රක්ෂකයා හිනා වෙයි, අඬයි, මේ මේ තැන් මතක තියෙයි කියලා හිතනවා. ඒ අනුව මම චිත‍්‍රපටය හොඳ එකක් ද? නැද්ද? කියලා තීරණය කරනවා. එ් වගේ ම පිටපතේ තියන විදිහට ම චිත‍්‍රපටය හැදුණොත්, අනිවාර්යයෙන් ම ඒක බලන ප්‍රේ‍‍රක්ෂකයා මම හිතුව තැන්වල, මම හිතුව ප‍්‍රතිචාරය ම දක්වනවා. ඒ කියන්නේ මම ප්‍රේ‍‍රක්ෂකයාගේ මනසින් හිතනවා කියන එක නෙවෙයි. එ්ක මහ බොරු කතාවක්. මම මගේ මනසින් හිතලා, මගේ හදවතට අනුව වැඩ කරනවා විතරයි. අපි හැම තිස්සෙම අපේ හදවත කියන දේ කරන්න  ඕනේ.

  • ඔයා අභියෝගවලට කැමති ද?

            ඇත්තට ම මම කැමති නැහැ ඔය අභියෝග කියන දේවල් බාර ගන්න. ඒවා හරි අමාරුයි නේ, නැද්ද? එ්ත් ඉතින් මට හම්බ වෙන හැම චරිතයේ ම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හරි කරදරේ.

  • අමතක නොවන අත්දැකීම් එහෙම නැද්ද?

            තියෙනවා. දවසක් අපි “පරම්පරා” චිත‍්‍රපටයේ රූගත කිරීම් කරද්දී සුනිල් දත් මහත්තයාගේ එක දර්ශනයක් තිබුණා. ඒකේ දී එයා අශ්වයෙක් පිට නැගලා ටිකක් කලහකාරී විදිහට දෙබසක් කියන්න  ඕනේ. දත් මහත්තයා කිව්වා අශ්ව ගාලේ ඉන්න කුලප්පු වෙච්ච එකාව ගෙන්න කියලා. ඊට පස්සේ එයා ඌ පිට නැගලා ඈතට නොපෙනී ගියා. අපි හරියට බය වුණා. එයා ගියේ වාහනයකටවත් යන්න පුළුවන් පාරක නෙවෙයි. ඒත් විනාඩි 15කට විතර පස්සේ දත් මහත්තයා ආපහු ආවා. එතකොට අශ්වයා එයාට හොඳට ම මෙල්ල වෙලා හිටියේ. කොහොම හරි රූගත කිරීම් ඉවර වුණාට පස්සේ මම ඇහුවා ඇයි එක දර්ශනයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය ඔය තරම් අවදානමක දා ගන්නේ කියලා. එතකොට එය කිව්වා, එහෙම නිකම් රඟපෑවට කිසි තාත්වික බවක් නැහැ, ඒ නිසා රඟපෑම ඇඟට දැනෙන්න එහෙම කළා කියලා. සුනිල් දත් කියන්නේ ප‍්‍රවීණයෙක්. එයාත් තවම තාත්වික බව ඉගෙන ගන්න උත්සහ කරනවා නම්, අපි කොහොම උත්සහවන්ත වෙන්න  ඕනෙ ද? ඒ සිද්ධියෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා.

  • නළුවෙක් නොවුණා නම් ඔයා කවුරු වෙන්න ඉඩ තිබුණා ද?

            එහෙනම් මම කොහොම හරි ටෙනිස් ක‍්‍රීඩකයෙක් වෙනවා. මම ටෙනිස්වලින් ජාතික මට්ටම දක්වා ගිය කෙනෙක්. එහෙම නැත්නම් මම ගුරුවරයෙක් වෙයි. මගේ හීනයක් තමයි චිත‍්‍රපට ගැන පිස්සුවක් තියෙන ළමයි ටික දෙනෙක් වෙනුවෙන් චිත‍්‍රපට පාසලක් පටන් ගන්න එක.

(සකස් කළේ ඉන්දියාවේ, ඊ.ටී.සී. බොලිවුඩ් බිස්නස් වැඩසටහනේ දී සිදු කෙරුණු සාකච්ඡාවක් ඇසුරිණි)

About The Author