Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

PCR නොමැතිව ආසාදිතයන් සමාජයට මුදා හැරීමේ රජයේ තීරණයට එජාපයේ විරෝධය

මේ වන විට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ වෛරසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ පරස්පර තොරතුරු ඉදිරිපත් වීමට පටන් ගෙන තිබීම හේතුවෙන් ජනතාව බරපතල අර්බුදයකට මෙන්ම අවදානමකට මුහුණ පා තිබේ.

රජයේ පාර්ශවය වෙනුවෙන් යුද හමුදාපතිවරයා , ජනාධිපතිවරයා ,වසංගත රෝග විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂවරයා මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශවල ප්‍රවීණයන් විසින් විටින් විට මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශවල අන්තර්ගතයන්හි බොහෝ පරස්පරතාවන් ඇති බව පැහැදිලි වී තිබේ.

නොවැම්බර් (02) දා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් වසංගත රෝග විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ රෝගය වැළඳී ඇති බවට ප්‍රථම PCR පරීක්ෂණය මගින් තහවුරුව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින නමුත් අදාළ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් සිටී නම් දින 10 කට පසු ඔවුන් සඳහා දෙවන PCR පරීක්ෂණයක් සිදු නොකොට නිවෙස්වලට එවීමට රජය තීරණය කර ඇති බවයි.

උපුටා ගැනීම –

“අපි පසුගිය සතියේ තීරණයක් ගත්තා ලෝකයේ මේ දක්වා කරල තියන අධ්‍යයනවල දැනුමත්, අපේ රටේ තියන දැනුමත් පාවිචිචි කරලා PCR පරීක්ෂණ සිදුකිරීමකින් තොරව රෝග ලක්ෂණ නැති රෝගීන් රෝහල්වලින් මුදා හැරීම සදහා. ඒ අනුව රෝග ලක්ෂණ නැති Covid -19 අසාදිතයන්ට දින 10 – 14 අතර කාලයක් ගියාට පස්සේ ඔවුන් තව දුරටත් තවත් කෙනෙක්ට අසාදනය කරන්න පුළුවන්කමක් නෑ.ඔවුන් කිසිම බයක් සැකක් නැතුව විශ්වාසයෙන් යුතුව නැවතත් නිවෙස්වලට මුදා හරින්න පුළුවන්. PCR පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය නැහැ. මොකද PCR පරීක්ෂණයෙන් අපි කරන්නේ, අපි හදුනා ගන්නේ මේ වෛරසයේ තිබෙන කොටස් මිසක් සජීවී වෛරසයක් ද නැද්ද කියන එක නෙමෙයි. ඒ නිසා මේ දක්වා ලෝකයේ කරපු අධ්‍යනයවලින් හොදින්ම තහවුරු වෙලා තියනවා ඒ වගේ අයගෙන් දවස් 10ක් 14 ත් අතර කාලයක් ගියාට පස්සේ තවත් කෙනෙකුට බෝ කල හැකි තත්වයේ සජීවී වෛරස නැහැ කියලා. ඒ නිසා තමයි අපි එහෙම තීරණයක් ගත්තේ. එය අපේ රටේ තියන සෞඛ්‍ය පද්ධතියේ මේ තියන රෝහල්වලට ඇතුළත් කරපු රෝගීන්ව විධිමත්ව නැවතත් නිවෙස් කරා යෑමත් අපේ PCR පරීක්ෂණ වඩාත් ඵලදායීව  පැවැත්වීමටත් උදව් වෙනවා”

මෙය බරපතල ප්‍රකාශයකි. මීට අනුව කොරෝනා වෛරසය තවමත් ශරීරයේ තිබෙන, නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රැසක් දෙවන PCR පරීක්ෂණයකින් තොරව සමාජයට මුදා හැර අවසන්ය.

දිනකට විශාල පිරිසක් සුව වී පිටවන බව පැවසුව ද සත්‍යම තත්ත්වය වන්නේ මෙය නම් මෙහි බරපතල අවදානමක් නොමැති දැයි අප සෞඛ්‍ය බලධාරීන්ගෙන් සහ රජයේ වගකිව යුත්තන්ගෙන් ප්‍රශ්න කරන්නෙමු. මීට දින කිහිපයකට පෙර මෙරට ව්‍යාප්ත වන Covid – 19 වෛරස ප්‍රභේදය පිළිබද අධ්‍යයනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මෙම වෛරසයේ වෛරස ඝණත්වයෙහි ඉහළ යාමක් ඇති බවත් එබැවින් අසදිතයෙකුගේ එක කිවිසුමකින් පවා වැඩි වෛරස ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීම සිදුවන බවත් සනාථ කර තිබේ. වෛරසය සුව වූ බව පැවසුන ද දින 21 –  28කට පසුවත් නැවත රෝග ලක්ෂණ මතුවූ රෝගීන් පිළිබද මෙරට තුළින්ම වාර්තා විය.එසේ නම් දැන් එළඹී ඇති අලුත් නිගමනය කුමක්ද?

එසේ නම් දින 10 කට පසු රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ශරීරගත ව ඇති රෝගීන් තව දුරටත් රෝග වාහකයින් නොවන බව තහවුරු කරන්නේ කෙසේද? එය තහවුරු කිරීම සදහා යොදා ගනු ලැබූ විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා මොනවා ද?

කොරෝනා වෛරසයේ නියමිත ක්‍රියාකාරීත්වය පිළිබද තවමත් බොහෝ දියුණු රටවල් පවා අධ්‍යනයන් සිදු කරමින් සිටී. වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් නිශ්චිත පුරෝකථන පවා සිදු කිරීම අපහසු වී තිබේ. එවන් වටපිටාවක් තුළ කොරෝනා අසාදිත නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් දින 10කට පසු PCR පරීක්ෂණයක්ද සිදු නොකොට සමාජයට මුදා හැරීම ඔවුන්ට සහ සමාජයේ සිටින නීරෝගී ජනතාවට කෙසේ බලපානු ඇතිද?

අනෙක් බරපතළ කරුණ වන්නේ මීට පරස්පර අදහස් රජයටම සම්බන්ධ වෙනත් පාර්ශවයන් විසින් සිදු කිරීමයි. රජයට සම්බන්ධ ඇතැම් පාර්ශව අනිවාර්යයෙන්ම දෙවන PCR පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් කටයුතු කරයි. මෙය බරපතළ පරස්පර තත්ත්වයකි.

වසංගත රෝග විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට නොවැම්බර් 02 දිනට පෙර සතියේ සිටම කොරෝනා ආසාදිතයන් දෙවන PCR පරීක්ෂණය සිදු නොකොට සමාජයට මුදා හැර අවසන්ය. එය සංඛ්‍යාත්මකව කොතෙක් දැයි වහා හෙළි කළ යුතුය.

අද වන විටත් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වූ පුද්ගලයන් පවා හදිසියේ මිය ගිය බවට තොරතුරු වාර්තා වන පසු බිමක “ එක දිනකදී රෝගීන් වැඩිම ගණනක් සුවය ලබා පිටව ගියා” යයි මාධ්‍ය හරහා තොරතුරු ලබා දෙමින් රජය විසින් සිදු කරන්නේ ජනතාව නොමග යැවීමකි. මෙම තත්ත්වය බරපතළ ලෙස ජනතාව රැවටවීමක් මෙන්ම ඔවුන්ගේ ජීවිතය පවා අනතුරේ හෙළීමකි.

එක්වරක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානතම නිලධාරියෙකු මුව ආවරණ පැළදීම අවශ්‍ය නොවන බව කියා මුව ආවරණ පැළදීමෙන් වැළකී සිටි අයුරු අපට මතකය. දැන් මුව ආවරණ පැළදීමට කටයුතු නොකර සිටියහොත් දඩය රුපියල් 10 000කි. විශ්වාස තැබිය හැක්කේ කුමක් පිළිබදව ද? මෙය සිතෙන සිතෙන ආකාරයට තීරණ ගැනීමට හෝ උපකල්පන අනුමාන සහ අත්හදා බැලීම් සිදු කිරීමට සුදුසු කාල වකවානුවක් නොවේ. සෘජුව ම දෙකෝටි විසිලක්ෂයකට අධික ජනතාවගේ ජීවිත සහ මරණය පිළිබද අවදානම් තත්ත්වයකි.

රජයේ දුර්වල ක්‍රියාකලාපය හමුවේ  PCR පරීක්ෂණ සිදු කර ගැනීමට නොහැකියාව හෝ රෝහල්වල ඉඩකඩ නියමිත පරිදි කළමනාකරණය කර ගැනීමට හෝ නොහැකි වීමේ වරද නිසා සමස්ත ජනතාවගේ ජීවිත බිල්ලට දීම කණගාටුදායක ය . කළ යුත්තේ ජනතාව රැවටීමෙන් වැළකී සත්‍ය තත්වය රටට හෙළි කොට උචිත නව ක්‍රමවේද සකස් කිරීමට රජය වහා පියවර ගැනීමයි.

එබැවින් මේ තත්ත්වය පිළිබඳ නිවැරදි තොරතුරු පරස්පරතාවයකින් තොරව වහා රට හමුවට ඉදිරිපත් කිරීම රජයේ අදාළ වගකිව යුත්තන්ගේ ප්‍රමුඛ කාර්යයභාරය බව අපි අවධාරණය කරන්නෙමු.

යම් හෙයකින් කිසිදු පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණයක ප්‍රතිඵලවලින් බැහැරව, හුදෙක් අනුමාන සහ මතු පිට උපකල්පන මත පිහිටා මෙම තීරණය ගෙන ඇත්නම්, ඇදිරි නීතිය ඉවත් කිරීමට පෙර මෙම වරද නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස රජයට දැනුම් දීම සඳහා අපි මෙය  අවස්ථාවක් කර ගනිමු. නැතිනම් රට තුළ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කළ විගස ජනතාව මුහුණ දෙන කොරෝනා අවදානමේ බරපතල බව කොතෙක් දැයි අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

© එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය

About The Author