Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

MCC ගිවිසුම සමග කරළියට ආ රැවටිලිකාර දේශපාලනය සහ ලංකාවේ ඉරණම – කල්ප ගුණරත්න

MCC බිල්ලාට එරෙහිව තාප්පවල ලංකාවේ චිත්‍ර ඇන්ද මිනිස්සු
MCC ගිවිසුම සමග කරළියට ආ නග්න රැවටිලිකාර දේශපාලනය සහ ලංකාවේ ඉරණම 

සහශ්‍ර අභියෝගතා සමායතන ගිවිසුම නැතිනම් මිලේනියම් Millennium Challenge Corporation ගිවිසුම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබෙනවා.

මෙම ගිවිසුම  පසුගිය ජනජනාධිපතිවරණය තුළ දී මෙන්ම මෙවර මහ මැතිවරණය තුළ ද රටේ ජනතාවගේ මනස තුළ විවිධ චිත්‍රණයන් ඇති කිරීම සඳහා විවිධ කණ්ඩායම් විසින් යොදාගන්නා ආකරයක් පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා.

M.C.C ගිවිසුම යනු කුමක්ද? ඒ සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ කෙසේද? යන්න පිළිබද කරුණු සත්‍ය වශයෙන්ම අවබෝධ කරගැනීම ඉතා වැදගත් මෙන්ම කාලීන අවශ්‍යතාවයක්.මේ වන විට එම ගිවිසුම ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව පිට පැටවීමට උත්සහ දරන්නක් ලෙසත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සදහාත් දේපල කොල්ල කෑම සදහාත් ඇමෙරිකාව දරන  උත්සහයක් ලෙස සමාජයට හදුන්වාදී තිබෙනවා.එබැවින් පක්ෂ දේශපාලන මතවාද බැහැරකර සත්‍ය තත්වය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්.

MCC ප්‍රදානය මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති විශාලතම ණයක් නොවන අරමුදල් ප්‍රදානයක්.එය ලබා දීම සදහා ශ්‍රී ලංකාව තෝරාගත්තේ කෙසේද යන්න සොයා බැලීම අනිවාර්යයෙන්ම කල යුත්තක්.

මොකක්ද MCC ආයතනය කියලා කියන්නේ ?

එය අමෙරිකානු එක්සත් ජනපද රජයේද මැදිහත් වීම මත දිළිඳුකම පිටුදැකීම සඳහා වන විදේශ ආධාර ලබාදෙන ස්වාධීන රාජ්‍ය ආයතනක්.

යහපාලනය, ආර්ථික නිදහස සහ මානව අයිතීන් වෙනුවෙන් කැපවන රටවල් දිරිගැන්වීමක් ලෙස මෙම ආයතනය තම අරමුදල් ප්‍රධානය කිරීමට ඉදිරිපත් වන බවයි ඔවුන් පවසන්නේ.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදය,නීතිය,සමාජ සමානාත්මතාවය ,භාෂණයේ නිදහස සාමය,සංහිඳියාව ආදීය අන්තර්ගත මානවවාදී දර්ශකයන් 20කට ආසන්න  ප්‍රමාණයක් ආරක්ෂා කිරීම පිළිබඳ ඒ ඒ රටවල් සිදුකරන දායකත්වයන් පිළිබඳ සමාලෝචනය කරමින් අයදුම්කර ඇති රටවල් අතුරින් රටවල් තෝරගැනීම සිදුකෙරෙනවා.

ඒ අනුව තෝරා ගන්නා රටවල් සඳහා ඉහත සඳහන් මානව වාදී දර්ශකයන් තවදුරටත් ආරක්ෂා කිරීම සහ බලගැන්වීම ආදි කොන්දේසි වලට යටත්ව මෙම ප්‍රදානයන් පිරිනැමීම සිදුකෙරෙනවා.

 MCC ප්‍රදානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉල්ලුම් කිරීම

MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අයදුම් කෙරෙන්නේ අද ඊයේ නොවේ. 2005 වසරේ මහින්ද රාජපක්ෂ රජය මේ සඳහා මුල්ම ඉල්ලීම සිදුකරනු ලැබුවා.එය ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ද තහවුරු කරනු ලද්දක්. 

MCC ය  මුදල්   ප්‍රදානයක් සිද්ධ කරාට පස්සේ ඒ මුදල් වැය කරන්නේ කොහොමද ? අක්‍රමිකතා සිදු කරනවාද? MCC  ප්‍රදානය ලබාගැනීමේදී  සලකා  බැලු නිර්ණායක ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවාද? යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් ප්‍රදානයට අදාලව බලගැන්වෙන ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සියලූ අංශ කළමනාකරණය සහ අධීක්ෂණය කිරීම සඳහා දේශීය වගවීමේ ආයතනයකුත් පිහිටුවීමට ඔවුන් පියවර ගන්නවා.

බොහෝ විට ඔවුන් ඒ සඳහා සිදු කරන්නේ  අධීක්ෂණ කාර්යාලයක් ස්ථාපිත කිරීමයි. මේ සියල්ල MCC ප්‍රදානයන් සදහා අයදුම් කරන  රටවල් සියල්ල හොඳින් දන්නා දෙයක්.  2005 වසරේදී මේ සඳහා  ඉල්ලුම් කළ මහින්ද රාජපක්ෂ මහතා   ප්‍රමුඛ රජය  මේ ගැන නොදැන සිටියා වන්නට බැහැ. කෙසේ වෙතත්  ඒ වන විට රට තුළ  පැවති යුදමය වාතාවරණය. මානව අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාකූලත්වය නිසා  මෙම  ප්‍රදානයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුණා. ඉන් පසුවත් දිගින් දිගටම මේ  සම්බන්ධ බලාපොරොත්තු තබාගෙන සිටියත් ඒවා සාර්ථක කර ගැනීමට රාජපක්ෂ රජයට  හැකි වුණේ නැහැ.

නමුත් 2015 වසරේ රටේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධීනත්වය,සහජීවනය ආදී  මානව ගුණාංග රැසක් ආරක්ෂා කරන බවට   ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත්වූ කණ්ඩායමක්.ඔවුන් ද නැවතත් මෙ සඳහා ඉල්ලීමක් කළා. ඒ සඳහා අනුමැතිය හිමි වීම රටක් ලෙස ලද ජයග්‍රහණයක්.නමුත් ඒ පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක් තිබුණා ද යන්නත් මේ වන විට සමාජ කතිකාවක් වී අවසන්.

MCC  යෙන් කළ ඉල්ලීමට අදාලව ශ්‍රී ලංකාව තෝරාගැනීමෙන් පසු  එය කැබිනට් අනුමැතිය  සඳහා යොමු කෙරුනේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි.

එතැන් පටන් එය රට බෙදන ගිවිසුමක් ලෙසත්,අමෙරිකානු උගුලකට ශ්‍රී ලංකාව හසුවීමක් ලෙසත් රාජපක්ෂවාදී කණ්ඩායම් චෝදනා කළා.

එදා රාජපක්ෂ රජයෙන්  අයදුම් කරන කොට  හොඳ MCC ය දැන් රට බෙදන  නරක් එකක් වුණේ කොහොමද? යන   පැනය කිසිවකු නැගුවේ නැහැ. 

MCC ප්‍රදානයන් යොදාගන්නා වැඩසටහන් තෝරගන්නේ කවුද?

මෙය ඉතා පරිස්සමින් අවබෝධ කරගත යුතු කරුණක්.

මේ ප්‍රදානය අනුමත වුනේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන්.

  1. එක ප්‍රවාහන පද්ධති වල දෝෂ,පදිකයන් සහ මගීන් මුහුණ දෙන ගැටලු ආදියට විසඳුම් ලබා දීම.
  1. දෙවැන්න ඉඩම් ලියාපදිංචිය පිළිබඳ තිබෙන බරපතල ව්‍යාකූලතා විසඳීම සඳහා නව තාක්ෂණික වැඩපිළිවෙළක් සැකසීම.

මෙම ව්‍යාපෘතීන් සඳහා අවශ්‍යතාවයත් ප්‍රමුඛතාවත් තෝරාගනු ලැබුවේ MCC ය නොවේ.  ඔවුන් මෙම ව්‍යාපෘතීන් දෙක සඳහා ආධාර අනුමත කරන්නට තීරණය කළේ ශ්‍රී ලංකා රජය වසර ගණනාවක් තිස්සේ කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් පාදක කරගෙන.මුදල් අමාත්‍යාංශය ජාතික ප්‍රතිපත්ති හා සැලසුම්කරණ දෙපාර්තමේන්තුවත් වසර පහළොවක විස්සක විතර ඉඳන් සමීක්ෂණයන් කරමින් මෙම ගැටලු හඳුනාගෙන තිබුණා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු කරුණු හඳුනා ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ අපිමයි.

එය එක්සත් ජාතික පක්ෂයේවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත්,පොදුජන පෙරමුණේ වත් තනි මතයක් නොවේ. එය ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා සිටිමින් ගත් තීරණයක්.

ඒ අනුව ඩොලර් මිලියන 480 ක මුදලක් මෙරටට ලබා දීමට MCC ය තීරණය කළා.

ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුනු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක්.

මෙය ඉතා සංවේදී ව්‍යාපෘතියක්.

ඒ යටතට රථ වාහන කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම, මාර්ග පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රථ වාහන ආලෝක සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම, පදිකයන් සහ මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් නව ප්‍රවේශ පද්ධති සැකසීම.

කාන්තාවන් දරුවන් සහ වයෝවෘද්ධ  වැඩිහිටියන් ඇතුළු අනතුරුවලට භාජනය විය හැකි කණ්ඩායම්වල ආරක්ෂාව සඳහා පදික මාරු සහ  බස් ප්‍රවේශ වැඩිදියුණු කිරීම වගේම ලංගම සහ පෞද්ගලික බස් රථ මෙහෙයුම්කරුවන්ට නවීන බස් රථ මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහාය ලබාදීම ඇතුළු වැඩපිළිවෙළකින් ද එය සමන්විතයි.

මීට අමතරව ග්‍රාමීය ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය සදහා ද වන වැඩපිළිවෙලක් එයට ඇතුලත් .ඒ යටතේ සබරගමුව උතුරුමැද සහ මධ්‍යම පළාත් ආවරණය කෙරෙන මාර්ග ජාලයේ කිලෝමීටර් 131 මාර්ග කොටස් සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීමට යෝජනා වී තිබුණා. මධ්‍යම පළාතේ ආර්ථික කටයුතු බස්නාහිර පළාතේ වරාය සහ වෙළෙඳපොළ සමග සම්බන්ධ කිරීම මේ යටතේ සිදු කිරීමට යෝජිත තවත් වැදගත් කටයුත්තක් ලෙසයි සඳහන් වන්නේ.

සමස්ත ව්‍යාපෘතියේ ඇමරිකන් ඩොලර් මිලියන 480  න් ඩොලර් මිලියන 350 ක් වැය කෙරෙන්නේ මෙම ප්‍රවාහන ක්⁣ෂේත්‍රයට අදාළ ව්‍යාපෘතිය සඳහායි.

දෙවැන්න ඉඩම් සම්බන්ධ ව්‍යාපෘතියයි.

ලංකාවේ දිස්ත්‍රික්ක 8ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු මෙම ව්‍යාපෘතියෙන් ඉඩම් කැබලි පිළිබඳ මූලික සිතීමක් සකස් කිරීම,ඩිජිටල් වෙළෙඳ  තක්සේරුකරණ පද්ධතියක් හඳුන්වා දීම, ඒ හරහා රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් වල තක්සේරු කටයුතු කාර්යක්ෂම කිරීම,රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවතින ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල් තාක්ෂණය හරහා යවත්කාලීන කිරීම ඇතුළු වැදගත් ක්‍රමවේද කිහිපයක් ව්‍යාපෘතියට ඇතුලත්.ඉඩම් වල හිමිකාරිත්වය තහවුරු කිරීමට යාමේදී ඇතිවන බරපතල ගැටලු කාරී තත්වයන් සමනයකර ගැනීම මේ හරහා බලාපොරොත්තු වූ වැදගත්ම කටයුත්තක්.

2019 ජනාධිපතිවරණයට MCC ගිවිසුම කරළියට ගෙන එන්නේ එය රට බෙදන තාප්පයක්,විජාතික කුමන්ත්‍රණයක්,ඇමරිකන් අධිරාජ්‍යවාදයේ උගුලක් බව පවසමින්.මෙලෙස චෝදනා එල්ල කළ පිරිස බලයට ගෙන ආවේ ද ඇමරිකන් පුරවැසියෙකු ලෙස සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා වීම විශේෂ කරුණක්.

මැතිවරණ සමයේ MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක් කළ භික්ෂූන් වහන්සේ නමක පසුව සඳහන් කර තිබුණේ ගිවිසුම් ගත කරුණු පිළිබඳ සමස්තයක් ලෙස අවබෝධයක් තමන්ට නොතිබුණු බවයි. ජීව විද්‍යා විෂය පිළිබඳ උපකාරක පන්ති ගුරුවරයෙකු ද වූ තිස්ස ජනනායක මහතා රට බෙදීමක් පිළිබඳ චෝදනා එල්ල කරමින් තම ජීව විද්‍යා පන්තියේ සිසුන්ට කියා දුන් දේශපාලන විද්‍යා පාඩමද ඒ කාළයේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා.

සමාජ කතා බහ එලෙස නිර්මාණය වන්නට ඉඩ ලබා දී MCC ගිවිසුම හරහා සිදුකිරීමට නියමිත ඇතැම් කරුණුම ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අන්තර්ගතයක් බවට පත් ව තිබුණා.

එහි 56,57,75 වැනි පිටුවල මේ කාරණාවම  පැහැදිලිව දක්වා තිබෙනවා.

ජනාධිපතිවරණය අවසන් වුණා.ගෝඨාභයට රාජපක්ෂ මහතා ජනාධිපති වුණා.

MCC ගැන කථිකාවක් නැවත කරලියට පැමිණියා.

එදා රට බෙදන විජාතික කුමන්ත්‍රණකාරී ගිවිසුම මෙදා 70%  හොඳ යැයි උදය ගම්මන්පිල වැනි ආණ්ඩුවේ කථිකයන් ප්‍රසිද්ධියේ පවසන විට නැවත සමාජය MCC ගිවිසුමින් උණුසුම් වුණා.

ගිවිසුම සමාලෝචනය සඳහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා.

කමිටු තීරණය කරළියට පැමිණියා ගිවිසුමට අදාළව අ.ඩො මිලියන 10 ක මුදල මුදල් ලබා ගැනීමක් ගැන සහ ගිවිසුමේ කොටසක් අත්සන් කිරීමක් ගැන නිවරැදි සහතික කිරීමක් හෝ  වගකීමක් නොමැති කරුණු ඉදිරිපත් වුණා.

ජනධිපතිවරණ සමයේදී කියවුන ලෙස ජනාධිපතිවරයාගේ කමිටුවට, MCC ප්‍රදානය ලබාගැනීම වරදක්, විජාතික කුමන්ත්‍රණයක් බව නම් සොයා ගැනීමට හැකි වුයේ නැහැ.

ඉන් අවධාරණය කෙරුනේ 2019 ඔක්තෝබරයේ කැබිනට්ටුවේ අනුමැතිය ලද ගිවිසුම, අත්සන් නොකල යුතු බව පමණයි.

ඉන් පසුවත් රජය තව දුරටත් කල් මරමින් සිටියා මිසක කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කටයුතු කළේ නෑ.

ජනාධිපතවරණයට පෙර සදහන් කළ රටට අහිතකර,අධිරාජ්‍යවාදී ,පරගැති MCC ය සමඟ ඔවුන් ගිවිසුම් ගතවනවා ද? නැද්ද?යන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතුව තිබුණා.

නමුත් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් මවන ලද බිල්ලෙකු ලෙස පමණක් MCC ගිවිසුම පෙනෙන්නට තිබු අතර MCC කතාව සමාජයට අමතක වන්නට ඉඩ දී සිටින බවක් දක්නට ලැබුණා.

දානයක් ලබා ගන්නා කෙනෙකු දානපතියාට කොන්දේසි දාන සිරිතක් තිබේද?

තමන්ම විසින්ම ඉල්ලා සිටි දෙයක් නැතිනම් දානයක් අවශ්‍ය නොවේ නම් එය කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා මිස දාන පතියාට බැන වැදී ගැලරිය චූන් කර පස්සා දොරින් ගොස් නැවත දානපතියාට වැඳ වැටි පස්සා දොරින් දානය ඉල්ලීමේ ක්‍රමවේදය කෙතරම් දුරට සාධාරණය දැයි කියා සිතෙන තැනට යටිබිම් ගත ප්‍රවාහයන් ක්‍රියාත්මක වුණා.

අන්තිමට අමරිකානු දානපතියා යදින්නාට ලබා දුන් තනි ඇහැට ඇඩෙන උත්තරය 

නිසි විදේශ ප්‍රතිපත්තියක් නොමැති,  ගැලරිය චූන් කරමින් ජනතාව රවටමින් දේශපාලන යෙදෙන ලංකාව නම් කොදෙව් රාජ්‍යයේ උද්දච්ච දේශපාලනයට කන කිස් කන පිළිතුරක් ඇමරිකාව විසින් ලබා දුන්නා.

ඒ MCC ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ  අමරිකානු ඩොලර් මිලියන 480 ක  ප්‍රදානය ලංකාවට  ලබාදී නොදීමට  තීරණය කිරීමයි. 

එතනින් නොනැවතුණු ඇමරිකානු රජය එම මූල්‍ය ආධාර ය සියරා ලියොන් රාජ්‍ය වෙත  ලබාදීමට තීරණය කළා.

අපි එපා කිව්වා ඒ නිසා අමරිකාව යන්න ගියා කියමින් ගන්න මෝඩ චුන්

ලංකවේ තකතීරුකම්වල ප්‍රථිපලය ලෙස අමෙරිකාව MCC රැගෙන යන්නට ගිය විට ආණ්ඩුව තමන්ට හිතවත් මාධ්‍ය ආයතන යොදා ගෙන කතාව කණපිට ගැසීමට තරම් පහත තැනට ආණ්ඩුව අද වැටුණා.

ඔවුන් ප්‍රකාශ කළේ ලංකාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ නිසා අමරිකාව විලි ලැජ්ජාවේ අකුලාගෙන ගිය බවයි.

ලංකවේ ජනධිපති අමරිකාවටවත් පදිරි නොවන ජගතෙකු ලෙස මව පෑමට ඔවුන් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණා.

නමුත් ආණ්ඩුවේ වගකිව යුත්තන් කිසිවෙකු මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉදිරිපත් වුයේ නැහැ.

තාන්ත්‍රික මට්ටමින් හෝ නිල වශයෙන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීම හරහාම ආණ්ඩුවේ සැබෑ තත්වය බුද්ධිමත් පුරවැසියන්ට අවබෝධ වීම වැළක්විය නොහැකි.

සැබවින්ම MCC කතාවේ අවසානයේ සිදු වුයේ කුමක්දැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි.

MCC සැබවින්ම රටට අහිතකර වූවාද ? නැද්ද? ජනාධිපතිවරණයේ දී  ජනතාව මුල කිරීම සදහා එය යොදා ගත්තා ද ? නැද්ද? යන්න පිලිබඳ සෘජු පිළිතුරු ලබා දීමට උදය ගම්මන්පිලලා, විමල් වීරවංශ ලා පමණක් නොව බිල්ලන් මැවූ භික්ෂුන් , ටියුෂන් මුදලාලිලා මෙන්ම මාධ්‍ය මුදලාලිලා ද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් යුතුව අප දෑස් දල්වා බලා සිටින්නෙමු.

යහපාලනය, නීතියේ ස්වාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලංකාවේ ක්‍රියාත්මක නොවන්නේද ?

MCC  ප්‍රදානය ලබා නොදීමට ගත් තීරණය දැනුම් දීම සඳහා   අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන වැදගත් කරුණක් පිළිබඳ   අවධානය යොමු කළ යුතුය,

ඇමරිකානු තානාපති  කාර්යාලය නිවේදනය කරන්නේ “ MCC ප්‍රදානයක්  පිරිනැමීමේදී අදාළ රට පිළිබිඹු කරන  හිමිකාරීත්වය විනිවිදභාවය , ප්‍රදානයේ  ප්‍රතිඵල හා වගවීම යන කරුණු  වැදගත් කොට සලකන බවත් , රටක ක්‍රියාත්මක යහපාලනය, නීතියේ ස්වාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම  ඇතුළු කරුණු පිළිබඳව ද අවධානය යොමුවන බවයි”

ඒ අනුව MCC අප අතහැර සියරාලියෝන් වෙත යන්නේ ශ්‍රී ලංකාව තුළ  මේ වන විට යහපාලනය, නීතියේ ස්වාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය ආදී සමාජයීය අගනාකම් නොමැති ද ? යන ප්‍රශ්නාර්ථය ද  අප හමුවේ ඉතිරි කර තබමින් වීමද අප විශේෂයෙන් අවධානයට ලක් කළ යුතුම කරුණක්.

© කල්ප ගයාන් කවීශ්වර ගුණරත්න