Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිනී මරන ලිබියානුවෝ

උතුරු අප්‍රිකානු රටේ සංක්‍රමණිකයින්ට එල්ල වූ නව ප්‍රහාරයකට අනුව පුද්ගලයින් තිදෙනෙකු ට්‍රිපෝලිහි කර්මාන්ත ශාලාවකට කඩා වැදී, නයිජීරියානු කම්කරුවෙකුට පෙට්‍රල් දමා ගිනි තබා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විස්තර කර ඇත්තේ මෙම මිනිසාගේ මරණය එරට සංක්‍රමණිකයින්ට එරෙහි ව එල්ල කෙරුණු තවත් අසාධාරණ අපරාධයක් බවයි.

ට්‍රිපෝලි නගරයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම පුද්ගලයාට පහරදීම සම්බන්ධයෙන් සැකකාර සියලු ලිබියානු ජාතිකයන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් කර්මාන්ත ශාලාවට කඩා වැදුණු අයුරු සහ නයිජීරියානු ජාතිකයාට ගිනි තැබූ අයුරු විස්තර කෙරෙන සාක්ෂි කිහිපයක් ම අමාත්‍යංශය සතු බව පෙනේ. 

“ලිබියාවේ ට්‍රිපොලි නුවර දී නයිජීරියානු සංක්‍රමණික සේවකයෙකු මිනිසුන් තිදෙනෙකු විසින් ඝාතණයට ලක් වීම ගැන අපි භීතියට පත්ව සිටිමු. තරුණයා පණපිටින් පුළුස්සා දමනු ලැබුවා. එරට ජනතාව සංක්‍රමණිකයින්ට එරෙහි බවට මෙය තවත් සාක්ෂියකි.” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානී “ෆෙඩරිකෝ සෝඩා” සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබේ. ලිබියාවේ සංක්‍රමණික මෙහෙයුමේ ජාත්‍යන්තර සංවිධානය පවසනුයේ ලිබියානු රජය වහාම මීට වගකිවයුත්තන් හට දඬුවම් ලබා දිය යුතු බව ය.

මෙයට පෙර “සී වොච් 3” නම් වන රාජ්‍ය නොවන සංවිධානය විසින් 2019 ජනවාරි 19 වන දින ලිබියාවේ වෙරළට ඔබ්බෙන් වූ රබර් බෝට්ටුවක සිටි නයිජීරියානු සංක්‍රමණිකයන් 47 දෙනෙකු බේරා ගෙන ලිබියාවට ගෙන ආවේ ය. එහෙත් යුද්ධයෙන් විනාශ වූ ලිබියාව තුළ සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට සතුරු වාතාවරණයක් පවතින බවට පුන පුනා චෝදනා එල්ල වී ඇත. එසේ තිබියෙදීත් එම සංක්‍රමණිකයින් බොහෝ දෙනෙකු රට හරහා ගමන් කරන්නේ යුරෝපයේ ආරක්ෂිත වෙරළට ළඟා වීමේ උත්සාහයක් වශයෙනි. එනමුත් මෙම සංක්‍රමණිකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය බලධාරීන් විසින් අල්ලා ගනු ලබන අතර නැවත ලිබියාවට ගෙනැවිත් දමනු ලැබෙති.

මෙලෙස නීතිවිරෝධී ඝාතණ, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ස්ත්‍රී දූෂණ ඇතුළු ලිබියාවේ සංක්‍රමණිකයින් හට මුහුණ දීමට සිදු ව ඇති බිහිසුණු අපයෝජන මාලාවක් විස්තර කෙරෙන වාර්තාවක් පසුගිය මාසයේ දී “ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සඟරාවේ පළ විණි. පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවැනි අපයෝජන උග්‍ර වී ඇති බව එරට අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය පවසයි.

 “ඔවුන් ආරක්ෂා කරනු වෙනුවට, භයානක මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ නාමාවලියක් අපට හමු වී ඇති අතර, දැන් කෝවිඩ් -19 වසංගතය හේතුවක් කර ගනිමින් ගැඹුරු ජාතිවාදී භීතිකාවක් පතුරුවා හැරීම අසාධාරණ ය.” යනුවෙන් එම සංවිධානයේ නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ “ඩයනා එල්ටාහවි” පවසන්නී ය.

එසේ තිබියදීත්, 2020 දී පවා යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් දස දහස් ගණනක් පිරිමින්, කාන්තාවන් සහ ළමයින් දරුණු අපයෝජන චක්‍රයකට කොටු කරන ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර මිනිසුන්ගේ ජීවිත හා ගෞරවය නොසලකා හැර තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි