Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වුණා.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රැසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ “ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ” ප්‍රථම සමුළුව පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

එහි දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා තිබෙනවා. මේ වන විට ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ගෙන සිටින අතර 13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රි ලංකාවට හිමිව තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම මෙරට ලැබූ සුවිශේෂ ගෞරවයක් හා සෙසු රටවල් අතර සමීප සබඳතාවකට හේතු වනු ඇතැයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙනවා.

අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25ක නියෝජිතයෝ එක්ව සිටිම ද විශේෂත්වයක්.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව සමුළුවට සහභාගී වුණා.

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සමුළුවේ අරමුණ පැහැදිළි කළ අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ “කොවිඩ් – 19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය” යන මැයෙන් මුලසුන දේශනය සිදු කරන්නට යෙදුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ගිහි දේශනය සිදු කළා.

මොන්ගෝලියානු අග්‍රාමාත්‍ය උක්හාන් ජින් කුරේල්සුක් (Ukhnaagiin Khurelsukh) මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීමද විශේෂත්වයක්.

මේ අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ දේශීය හා විදේශීය බෞද්ධ නියෝජිතයෝ ඇතුළු පිරිසක් සිටියා.