Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සංහිඳියාව වෙනුවෙන් වූ මංගල මෙහෙවර රනින් පිදුම් ලබයි : ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මනය හිටපු කතානායක කරු ජයසූරියට

Institute of Politics වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී තවත් විශේෂ සම්මාන රැසක්

දිවංගත මංගල සමරවීර මහතා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘සංහිඳියාවේ රන් සම්මානයෙන්’ පිදුම් ලබා තිබෙනවා

2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයක් වන අතර පිළිගත් වෘතිය බවකින් යුත් දේශපාලන ක්‍රියාධරයින් සමාජයට දායාද කිරිම එහි අරමුණයි.

එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න මහතා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු ඩිප්ලෝමා සහතික ප්‍රදානය කර තිබෙනවා.

මෙහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්‍යෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ද ඇගයීමට ලක් කර තිබෙනවා.

එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අගයමින් කාන්තා දේශපාලන පීඨය විසින් පිරිනමන විශේෂ සම්මානය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීතුමිය සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය වෙත පිරිනමා ඇතිබව සඳහන්.

Institute of Politics ආයතනය විසින් පිරිනමන වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ට හිමි සම්මානය අලි ශබ්‍රි අමාත්‍යවරයාට ද වසරේ තරුණ මන්ත්‍රීවරයා ට හිමි සම්මානය ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාට ද පිරිනමන ලදී.

ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය කරු ජයසූරියට

මෙහිදී ජීවිතයේ එක් වතාවක් පමණක් institute of Politics ආයතනය ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයකුට පිරිනමන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය දේශබන්දු කරු ජයසූරිය මැතිතුමා වෙත පිරිනමන ලද අතර සංහිඳියාව සදහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු වෙනුවෙන් පිරිනමන සංහිඳියාවේ රන් සම්මානය දිවංගත මංගල සමරවීර මැතිතුමා ගේ නාමයට පිරිනමා තිබෙනවා.