Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෙද්දේ බද්දක් එයි ?

ආනයනික නිමි ඇඳුම් සඳහා ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට විශේෂ බද්දක් අය කිරීමට පියවර ගන්නා බව අත්යන්ත්‍ර නිෂ්පාදන හා දේශීය ඇඟලුම් කර්මාන්ත අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ දේශීය රෙදිපිළි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු පළකලේ මෙවැන්නක්.

“අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා විශේෂ බද්දක් හඳුන්වා දෙන්න අපි  බලාපොරොත්තු වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම. ඒ වගේම තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙන ඒම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මෙතනදී රුපියල් 250 මිල රුපියල් 450 දක්වා වගේ වැඩි වෙන බදු ක්‍රමයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ” 

කෙසේ වෙතත් මෙරට නිමි ඇඳුම් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනික නිමි ඇඳුම් වලින් සපුරාලන අතර දේශීය ඇගලුම් ශාලා වල නිෂ්පාදනය කෙරෙන  නිමි ඇඳුම් වලින් 90% ක් අපනයනය කෙරෙනවා.

ඇතැම් අවස්ථාවල දී  වෙනත් සන්නාමය යටතේ  මෙරට නිෂ්පාදනය කරන ලද  නිමි ඇඳුම් වෙනත් රටවලට අපනයනය කිරීමෙන් පසු  නැවතත්  ශ්‍රී ලංකාවටම  ආනයනය කරන අවස්ථාද  දක්නට ලැබෙනවා. 

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීමට බව පවසමින් ආනයනය කෙරෙන  විවිධ භාණ්ඩ සම්බන්ධයෙන්  පනවා ඇති බදු මුදල් ඉහළ නැංවීමට  රජය  විටින් විට පියවර ගත්තද  අවසානයේ සිදුවන්නේ  දේශීය කර්මාන්තකරුවන්  ආරක්ෂා වීම නොව  රජයේ අවශ්‍ය බදු ආදායම් ඉහළ යාම පමණයි.

 එමෙන්ම අවසානයේ දී එහි බර පැටවෙන්නේ  බහුතර පාරිභෝගික ජනතාව පිටයි.