Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය සේවයේ වැටුප් තල ඉවත දමා – පාලනාධිකාරියට අභිමත වැටුපට සේවකයන් බදවා ගැනීමට යයි

විශේෂඥ සේවා අවශ්‍ය විවිධ රාජ්‍ය ආයතන සඳහා එම පාලනාධිකාරිය තීරණය කරන වැටුපකට විශේෂඥ පුහුණුව සහිත පිරිස් බඳවා ගැනීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇත.

මුදල් ඇමැතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතු මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ 2021 ජනවාරි 06 වැනිදාය.

පසුගිය වසරේ (2020) නොවැම්බර් මාසයේ දී කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයටද මෙම අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මෙම අනුමැතිය ලබන ආයතනවලට ආයතනයේ පාලනාධිකාරිය තීරණය කරනු ලබන සුදුසු යැයි හැඟෙන වැටුපක් මත විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් රාජකාරි සඳහා බඳවා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

එසේම අදාළ පිරිස් බඳවා ගැනීමේ පටිපාටියද අදාළ ආයතනවල පාලනාධිකාරියට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තීරණය කිරීමේ හැකියාව ලබා දීමට නියමිතය.

දැනට පවතින ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුව තීරණය කෙරෙන වැටුප්තල, විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීමේ දී ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය මෙම නව තීරණයට එළඹ ඇත.

ඒ අනුව අදාළ ආයතන විසින් තීරණය කරනු ලබන වැටුප් සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවද මෙම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

© මුලාශ්‍ර – අරුණ