Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජයට සහය වෙමු – කුමාර වෙල්ගම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට හැකිවීම ගැන විපක්ෂයද කුහකත්වයෙන් තොරව අද සතුටු විය යුතු බව පැවසූ වෙල්ගම මහතා මේ ණය මුදලින් උපරිම ඵල ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළේය.

වෙල්ගම මහතා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමිනි.

කුමාර වෙල්ගම මහතා මෙසේද සඳහන් කළේය.

මේ ජයග්‍රහණය ගැන මම ජනාධිපතිවරයාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම විපක්ෂය විදියටත් අපි සන්තෝෂ වෙන්න ඕන. මේ යෝජනාවට මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. මොකද අපේ රට වැටිල තියෙන්නෙ. අපි හැමදාම හොරු හොරු හොරු කියනවා. අල්ලන හොරෙක් නැහැ. හොරු නම් දෙපැත්තෙම ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ අවුරුදු තිහක් ඉන්න මිනිහෙක් හැටියට මම මේ කියන්නේ. ඔය කියන හොරු අල්ලන්නේ නැහැ. මොකද ඇල්ලුවොත් ඔක්කොම දිගටම අහුවෙනවා. තවත් දෙයක් කියන්න ඕන. අද ඒ හොරුන්ගේ සල්ලි මේ රටේ නැහැ. අපි ඔක්කොම මේ වෙලාවේ ආණ්ඩුවේ ඒ වැඩපිළිවෙළට සහයෝගය දෙමු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ගන්න බැහැ කියලා රටේ ගොඩක් අය කිව්වා. නොයෙකුත් තර්ක විතර්ක ගෙනාවා. විපක්ෂයත් ගෙනාවා. නමුත් ජනාධිපතිතුමා ඒ මුදල් දැන් ගෙනල්ලා තියෙනවා. අපි මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. රට ගොඩ දාන්න පොඩි දරුවන් වෙනුවෙන් අපි කතා කරමු. නැත්තං මේ ඉන්න නාකි මල හැත්ත වෙනුවෙන් නෙවෙයි.