Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යහපාලන සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූ බවට බොරු කියූ පොලිස් නිලධාරීන්ගේ කෙරුම් හෙළිවෙයි – පොලිස්පතිම ජනපතිට දන්වයි

පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් බහුතරයක් එවැනි පළිගැනීම්වලට ලක්වූවන් නොවන බව පොලිස්පති චන්දන වික්‍රමරත්න ජනාධිපතිවරයාට වාර්තා කර තිබෙනවා.

එම තත්වය තුළ මෙසේ දේශපාලන පළිගැනිම්වලට ලක්වූ බව කියමින් උසස්වීම් ලබාදීමට නිර්දේශ කර සිටින පොලිස් නිලධාරීන්ගේ පැටිකිරිය යළි සොයා බලන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරනවා.

දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් සත්‍ය වශයෙන්ම පළිගැනීමකට ලක්ව ඇතැයිද යන්න සොයා බලා වාර්තා කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ නියෝගයක් මත පොලිස්පතිවරයා අදාළ වාර්තාව ජනාධිපතිවරයාට සහ ඇමැති සරත් වීරසේකට යොමුකිරීමට කටයුතු කර තිබණා.

මෙම ලැයිස්තුවේ ඇතැම් නිලධාරීන් පසුගිය රජය සමයේ ද දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසා උසස්වීම් ලබාගෙන මෙම රජය යටතේ ද එවැනි උසස්වීම් ඉල්ලා ඇති බව හෙළිව තිබෙනවා.

තවත් නිලධාරීන් පිරිසක් ප්‍රභූ ආරක්ෂක සේවයේ සිට ප්‍රභූවරයා මාරු වූ පසු සාමාන්‍ය සේවයට කැඳවීමත් දේශපාලන පළිගැනීමක් ලෙස හුවා දක්වා ඇති බවද හෙළිවී තිබෙනවා.

අනියම් සබඳතා නිසා පවුල දෙදරායාම වැළැක්වීමේ අරමුණින් ඉහළ නිලධාරීන් කළ මාරුවීම් පවා දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට ඇතුළත් කර තිබීමද විශේෂත්වයක්.

මෙලෙස දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියන ලැයිස්තුවේ නිලධාරීන්ට සහන ලබාදීම ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා තාවකාලිකව නවතා දැමීමෙන් පසු මෙම වාර්තාව කැඳවා කැඳවීමට පියවර ගෙන තිබුණා.