Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බර්ෆි චිත්‍රපට දැක්ම

ඩාර්ජීලින් නුවර. වයසක සීයා කෙනෙක් නැගිට ගන්න බැරි ව සීනුව ගහනවා. ඒත් කාටවත් ඇහුණේ නැහැ. ඒ නිසා එයා බොහොම අමාරුවෙන් තනියම නැගිටලා ගිහින් ඉර නගින වෙලාවේ ෆොටෝ එකක් ගහනවා, තමන් කොණ්ඩේ පීරන හැටි. අයියෝ… වැටුණා.

මේ අතරේ ගොළු බිහිරි පාසලක උගන්වන ගුරුතුමියකට දුරකථන ඇමතුමක් එනවා. එයත් වයසක ආච්චි කෙනෙක්. එයා තමයි අර සීයාගේ ජීවිත කතාව කියන්නේ.

මේ දෙන්නා අඳුණන්නේ තරුණ කාලේ ඉඳලාම යි. දවසක් මේ ආච්චි කෙල්ල කාලේ පොලිසියේ මහත්තයෙකුත් එක්කගෙන ගෙදරකට යනවා. එකපාරට ම ගේ ඇතුළෙන් කොල්ලෙක් එනවා වතුර එකකුත් අතේ තියාගෙන උගුර හෝදන ගමන්. එයාගේ නම බර්ෆි. මෙන්න මිනිහා හිටි ගමන් පැනලා දුවනවා… ඇත්ත නේ. කවුද පොලිසියට බය නැත්තේ. අහු වුණාම ගුටි නේ. ඒත් මේ වතාවේ නම් කොච්චර දිව්වත් වැඩක් වෙන්නේ නැහැ. බර්ෆි පොලිසියට අහු වෙනවා. දන්නවාද කොහොමද කියලා? එයා දුවලා දුවලා ගිහින් අන්තිමට බලනකොට හැංගිලා තියෙන්නේ පොලිසිය ඇතුළේ ම යි. අයියෝ, පිස්සු කොල්ලෙක්.

හරියට හරි. බර්ෆිට තියෙනවා පොඩි අසනීපයක්. එයාට කතා කරන්නත් බැහැ, ඇහෙන්නෙත් නැහැ. හැබැයි මහ දඟ මල්ලක්. විනාඩියක් එක තැනකට වෙලා ඉන්නේ නැහැ නේ. කොහොම වුණත් බර්ෆි දන්නවා තමන් පොලිසියට අහු කරලා දුන්නේ මේ කෙල්ල කියලා. ඒත් එයා කොහොමටවත් කෙල්ලට, ඒ කියන්නේ ශෘතීට මොකුත් ම කියන්නේ නැහැ. ඒත් ශෘතීට නම් හරි දුකයි. ඒ නිසා එයත් යනවා බර්ෆිගේ පස්සෙන් පොලිසියට. කොල්ලෝ පස්සේ ඇවිද්දා වුණාට ශෘතී කියන්නේ බැඳපු ගැහැනියක්. පොලිසියට වෙලා ටික වෙලාවක් ඉන්නකොට එයාගේ මහත්තයා, ඒ කියන්නේ රංජිත් ශෘතීට කතා කරලා බණිනවා, එයාගේ පිස්සු වැඩ නිසා ගෙදරට පොලිසියෙන් ආවා කියලා. රංජිත්ගේ ගෙදරට කවදාවත් පොලිසියෙන් ඇවිත් නැහැ ලු නේ. ඒ නිසා එයාට මාර තරහයි තමන්ගේ ආඩම්බරකමට පහරක් එල්ල වීම ගැන.

රංජිත් අහනවා බර්ෆි කියන්නේ කවුද කියලා. ශෘතීටත් තියෙන ප්‍රශ්නේ ඒක ම තමයි. ඇත්තට ම බර්ෆි තමන්ගේ කවුද?

ශෘතීට බර්ෆි ව ඉස් ඉස්සෙල්ලා ම හමු වුණේ එයා තමන්ගේ දෙමාපියන් එක්ක ඩාර්ජීලින් නුවරට යද්දී. ඒ 1972. තාත්තා බර්ෆිගෙන් පාර ඇහුවා. එයා හරියට ම උත්තර දුන්නා. ඒත් කටින් නෙවෙයි, අතින්. ඊට පස්සේ මෙන්න මෙයා ශෘතී දිහා ඇහිපිය නොහෙළා බලාගෙන ඉන්නවා. අයියෝ නෑ නෑ, බර්ෆි බලා ඉඳලා තියෙන්නේ වීදුරුවෙන් පෙනෙන තමන්ගේ රූපය දිහා. එයා ඒ දිහා බලන් කොණ්ඩේ එහෙමත් පීරගෙන, නහයේ මයිලකුත් ඇදලා දානවා. ශෘතීට පණ යන්න හිනා.

ඕ හෝ යේ…

ඇසට ඇසක් කතා කරයි…

හිත නමැති නදියේ දිය රැළි නැගෙයි..

ඒ දවස්වල බර්ෆිගේ පස්සෙන් එළවලා ම පොලිසියේ ලොකු මහත්තයාට පිස්සු හැදුණා ලු. බර්ෆිගේ අම්මා හරි ආසයි සින්දු අහන්න. ඒ නිසා දරුවා ලැබෙන්න ඉද්දී තාත්තා මර්ෆි සමාගමෙන් හදපු රේඩියෝවක් ගෙනත්. ඒ නිසා තමයි ළමයාට “මර්ෆි“ කියලා නම තිබ්බේ. ඒත් කවුරුහරි ඇහුවොත් එයා කිව්වේ බර්ෆි කියලා. අනේ… එක දවසක් අම්මා රේඩියෝ එකේ සද්දේ වැඩි කරන්න ගිහින් හදිසියේ කරන්ට් වැදිලා මැරුණා. ඊට පස්සේ තාත්තා තමයි පොහොසත් ගෙදරක රියදුරෙක් විදිහට වැඩ කරලා බර්ෆි ව ජීවත් කළේ.

දවසක් ශෘතී යහළුවෙක් එක්ක කොච්චියේ යද්දී බර්ෆි එයාව දකිනවා. Love at first sight තමයි ඉතින්. ඒත් බර්ෆිට කතා කරන්න බැහැ නේ. ඒ නිසා එයා කෙල්ලගේ පස්සෙන් ගිහින් හස්ත සංඥාවලින් තමන්ගේ හදවත ගලවලා ශෘතීගේ පාමුල තියන බව පෙන්වනවා. ශෘතී කැමති නැහැ. පස්සේ කොෆි ෂොප් එකකටත් ගිහින් පීරිසියක් උඩ හදවත තියලා, මලකුත් ගහලා පිළිගන්වන බව පෙන්වනවා. ඒත් කෙල්ල කියනවා එයා විවාහ ගිවිසගෙන ඉන්න බව. ඊට පස්සේ බර්ෆි නගරයේ ඔරලෝසු කණුවට නැගලා, වෙලාව පැය කාලක් ආපස්සට කරකවලා කියනවා මෙහෙම දෙයක් වුණේ නැහැ කියලා හිතන්න කියලා. ඒත් ඒ දෙන්නා හොඳ යහළුවෝ වෙනවා. දවසක් බර්ෆි, ශෘතීව බයිසිකලයේ තියාගෙන යන්න ගිහින් වාහනයක හැප්පිලා වැටෙනවා. බලනකොට වාහනය එළවලා තියෙන්නේ තාත්තා. අතේ මාට්ටු.

ඔය අතරේ තවත් කතාවක් තියෙනවා. අර වෙලාවේ පොලිසියෙන් බර්ෆි ව අරගෙන ගියේ ඇයි දන්නවා ද? බර්ෆි ජිල්මිල් කියලා ගැහැනු ළමයෙක් පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලුවා ලු. කවුද මේ ජිල්මිල්? එයා තමයි බර්ෆිගේ තාත්තා වැඩ කරන ගෙදර ළමයා. අර බයිසිකලයේ හැප්පුණු වෙලාවේ ජිල්මිල් ඒ වාහනය ඇතුළේ හිටියා. එයා බර්ෆි ව අඳුන ගත්තා. ජිල්මිල්ටත් තියෙනවා නේ පොඩි අවුලක්. ඒක මානසික ගැටළුවක්. බර්ෆි වගේ ම අසාමාන්‍ය කෙනෙක් තමයි. හැබැයි යාන්තම් කතා කරනවා. මේ දෙන්නා පොඩි කාලේ ඉඳන් යහළුවෝ. පුංචි කාලේ බර්ෆි, ජිල්මිල් කාමරයේ ඉන්නකොට පහළ ඉඳලා කතා කරන්නේ ජනේලෙන් පෙනෙන විදිහට තමන්ගේ සපත්තුව උඩ දාලා.

ජිල්මිල්ට නම් අසනීප වෙලා තියෙන්නේ එයාගේ අම්මා නිසා. එයාගේ අම්මා හරියට අරක්කු බොනවා. ජිල්මිල් හම්බවෙන්න ඉන්නකොට ඒ අම්මා බබාව මරන්න හදලා. ඒකෙන් බබාගේ මොළයට හානි වෙලා ලු. පුදුම අම්මා කෙනෙක් තමයි. ඔය ප්‍රශ්නය නිසා එයාගේ ගෙදර අය කැමති නැහැ ජිල්මිල් ව තමන්ගේ දරුවා හැටියට අඳුන්වලා දෙන්න. ඒ නිසා එයා ඉන්නේ වෙන ගෙදරක, සීයා කෙනෙක් එක්ක. ඒ සීයා මෙයාට හරි ම ආදරෙයි.

මේ කියන දවසේ ජිල්මිල්ගේ තාත්තා ඇවිත් එයාව ගෙදර එක්කන් යන්න. ඇයි දන්නවා ද? ජිල්මිල්ගේ ගමේ සීයාට අසාධ්‍යයි. එයාට ඕනේ කියනවා ලු මෙයාව බලන්න. ඒත් එයා නම් කීයටවත් යන්න කැමති නැහැ. දන්නවාද, ජිල්මිල් හරි බයයි. එයා හැම තිස්සේ ම උත්සාහ කරනවා කාව හරි අල්ලගෙන ඉන්න. සුළැඟිල්ලෙන් තමයි අල්ල ගන්නේ. එහෙම ළඟ කවුරුවත් නැත්නම්, ජිල්මිල් තමන්ගේ ම ගවුමෙන් හරි තද කරලා අල්ල ගන්නවා. පවු නේද?

ඉතින් කොහොම හරි සීයා බලන්න ගියා කියමුකෝ. එයා වාහනයෙන් බිමට බහිනකොට සපත්තුවේ මඩ ගෑවුණා. කෙල්ලට ඕක සෑහෙන්න අවුල්. එයාට අප්පිරියා හිතුණා. පුංචි ම කාලේ එයාව බලා ගත්තු නැනී ටක් ගාලා ඇවිත් ජිල්මිල්ගේ සපත්තු දෙක පිහි දැම්මා. කොච්චර ප්‍රශ්න තිබුණත් මේ කෙල්ල හරි පිරිසිඳුවට ඉන්න කැමති කෙනෙක්. කාමරයට ගියාම සීයා ජිල්මිල්ට පළිඟු බෝලයක් දෙනවා. සීයා කැමතියි එයා කතා කරනවා අහන්න. ඒ නිසා තෑග්ග අතට නොදී ඉන්නවා.

“ප්ලීස් දාදු…

සීයාට හරි සතුටුයි. ජිල්මිල් කතා කළා නේ.

ඔය අතරේ බර්ෆි ජනේලේ එල්ලිලා බලාගෙන ඉන්නවා තමාගේ හිත ගත්තු ආදරවන්තිය තවත් කට්ටියක් එක්ක ලස්සනට නටනවා. එයා නැගලා ඉන්නේ යාළුවාගේ කර උඩ. අයියෝ මුරකාරයාට අහු වුණා. ඒ පාර කෙල්ල දැක්කා බර්ෆි ව. ඒ පාර මෙන්න දෙන්නත් එක්ක ම බොහොම අපූරුවට නටනවා.

“මගේ හදවත

දැන් මාගේ නොවන බව හැගේ

මින් පෙර කෙදිනකවත්

එලෙස දැනී නැති මට…

බර්ෆිගේ පොඩි විහිළුවක් තියෙනවා. පාරේ ලයිට් කණුවක් ළඟට ගිහින්, හරියට ම දුර මැනලා, ලයිට් කණුව මැද්දෙන් කපනවා. ඊට පස්සේ ඒක වැටෙන තැනට ඇවිත් බෝතලයක් තියලා, තමාගේ ඉස්සරහින් ලයිට් එක වැටිලා, බෝතලය බිදෙන හැටි බලාගෙන ඉන්නවා. බර්ෆි මේ දුර හරියට ම මනින්න දන්න නිසා එයාට කවදාවත් අනතුරක් වුණේ නැහැ. ඒත් එයාගේ යහළුවා නම් අන්තිම මොහොතේ බර්ෆිව අත්හැරලා පැනලා දිව්වා, ලයිට් කණුව ඇඟට වැටෙයි කියලා බය වෙලා. මෙයා ශෘතීටත් ඕක ම කරලා බලනවා. අපෝ, කෙල්ලත් අන්තිම මොහොතේ බර්ෆි ව අත්හැරලා පස්සට වුණා නේ. ඒ කියන්නේ එයාටත් බර්ෆි ව විශ්වාස නැහැ කියන එක නේ. වැඩක් නැහැ.

අපේ ජිල්මිල්ගේ ගෙදරත් පාර්ටියක්. එයාට කතා කරන්න අමාරු වුණාට සින්දු කියන්න නම් හොඳට දන්නවා. එයා හයියෙන් “Oh Bring back my Bonny” සින්දුව කියද්දී අනිත් අය හිනා වුණු එකට මෙයාට තරහා ගිහින්. පිස්සු හැදිලා වගේ කෑ ගහනවා හිනා වෙන්න එපා කියලා.

මේ වෙලාවේ බර්ෆි ගිහින් ශෘතී එක්ක ඇවිදින්න. එයාලා ඇළක් ළඟට වෙලා කතා කර කර ඉද්දී, බර්ෆි ශෘතීගේ අතේ තිබුණු ගිවිස ගැනීමේ මුද්ද ගලවලා අරන්, ගහක කෙළයක් එතනින් බඳිනවා. ඇත්ත. බර්ෆිට ඔය ලොකු ලොකු වැඩ කරන්න නම් බැහැ තමයි. හැබැයි ශෘතී තමන් එක්ක එනවා නම් බර්ෆි කැමතියි මොන දුකක් විඳලා හරි එයාව ආදරයෙන් බලා ගන්න. ශෘතීට ඕක තේරෙනවා. ඒත් මොනවා කරන්න ද? දෙන්නා උණුසුම් හාදුවකින් විතරක් සැනසෙනවා. ශෘතී ගෙදර එනකොට මෙන්න අම්මා දොර ළඟ. මළා. අද නම් හොඳ හැටි අහගන්නයි වෙනනේ. අම්මාට වැඩේ තේරෙනවා. අම්මා පහුවදා ශෘතීවත් වාහනයේ දාගෙන මිනිස්සු දර පළන තැනකට එක්කගෙන ගිහින් එක්කෙනෙක් ව පෙන්වනවා. ඒ අම්මා තරුණ කාලේ ආදරය කරපු කොල්ලා ලු. තමාට වෙනත් මංගල යෝජනාවක් ආවට පස්සේ මේ දෙන්නා පැනලා යන්න හැදුවත් අන්තිම මොහොතේ කෝච්චිය එනකොට ශෘතීගේ අම්මා තීරණය වෙනස් කරලා ගෙදර ඇවිත්.

“ඊට පස්සේ අම්මාට පුළුවන් වුණා ද තාත්තාට ආදරය කරන්න?”

“කවුද කියන්නේ ආදරයක් ඇති වෙන්නේ ජීවිතයට ම එක වතාවයි කියලා? ඔයා අහන්න කැමති දේ බර්ෆිට කියන්න බැරි වේවි. ඔයා කියන්න කැමති දේ එයාට අහන්න බැරි වේවි.”

“ඒත් අම්මේ නිහඬතාව තුළත් ආදරය තියෙනවා නේ.”

 “ඒ නිහඬතාව දවසින් දවස ඔයාගේ ආදරයත් නිහඬ කරවයි.”

බර්ෆි ලියුමකුත් අරන් එනවා ශෘතීගේ තාත්තා මුණ ගැහිලා මංගල යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඒත් ලියුම අතට ගන්නේ අම්මා. අම්මා මේ වැඩේ නවත්තන්න හිතලා තාත්තාට කියනවා බර්ෆි ආධාර ඉල්ලගෙන ආව කෙනෙක් ලු. ඒ අතරේ බර්ෆි දකිනවා ශෘතීව. එයා ඉන්නේ තව කොල්ලෙකුත් එක්ක. ටික වෙලාවකින් බර්ෆි දැන ගන්නවා තමන් පරක්කු වැඩි බව. එයා ස්තූති කරලා යන්න යනවා වැස්සේ ම. ශෘතී එනවා කුඩයකුත් අරන්. බර්ෆි හස්ත සංඥාවලින් කෙල්ලට බණිනවා. එයා කියනවා තමන්ට තියෙන්නේ පුංචි ෆුට් සයිකලයක් විතරක් නිසා, ශෘතී කාර් එකක් තියෙන මහත්තයෙක් ව හොයගෙන ලු. එයා බැණලා බැණලා, පස්සේ සමාව ඉල්ලලා, ශෘතීව හිනා ගස්සලා යන්න යනවා.

දැන් ඔන්න ආයමත් පොලිසියේ සිද්ධිය. පොලිසියෙන් බර්ෆිට හොඳට ම ගහනවා බලාගෙන ඉන්න බැරි තැන ශෘතී ගිහින් බර්ෆිගේ යාළුවා ව එක්කගෙන එනවා. ඊට පස්සේ ඒ දෙන්නා කතාව කියනවා. අර පැහැර ගැනීමේ කතාව ඇත්තක්. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ජිල්මිල්ගේ සීයා හදිසියේ අන්ත්‍රා වෙනවා. බලනකොට ඒ මනුස්සයා තමන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් සම්පූර්ණ දේපොළ ටික ලියලා තියෙන්නේ ජිල්මිල්ට නේ. ඕකට ඒ ගෙදර දෙමාපියන්ට තරහා යනවා. ඊට පස්සේ බර්ෆිගේ තාත්තාවයි අනිත් සේවකයින්වයි, ඔක්කෝමලා රස්සාවෙන් දොට්ට දානවා. හිතේ අමාරුව නිසා එදා රෑ බර්ෆිගේ තාත්තාට අසනීප වෙනවා. ඒත් බර්ෆිට ඇහෙන්නේ නැහැ නේ. එයා දන්නේ උදේ. බර්ෆි තාත්තාවත් කරේ තියාගෙන ඉස්පිරිතාලෙට දුවනවා. බලනකොට ඒක වකුගඩු අමාරුවක්. සැත්කමක් තියෙනවා කරන්න. රු.7000ක් ඕනේ දවස් දෙකකින්. බර්ෆි දන්න හැම විදිහට ම සල්ලි හොයන්න හදනවා. ජිල්මිල්ගේ තාත්තා ළඟටත් යනවා. ඒත් කවුරුවත් එයාට උදව් කරන්න ලැහැස්ති නැහැ. වෙන කරන්න දෙයක් නැතිකමට තමා බර්ෆි ජිල්මිල් ව පැහැර ගන්න සැලැස්ම හදන්නේ.

ඔක්කොම ලැහැස්ති කරගෙන ජිල්මිල්ගේ කාමරයට ගියා කියමුකෝ. කෝ ජිල්මිල්? බර්ෆිලාට කලින් වෙන කෙනෙක් ඒ කෙල්ලව පැහැරගෙන ගිහිල්ලා. ඒ අදහස පැත්තක දාපු බර්ෆි බැංකුවක් මංකොල්ල කන්න හදනවා. හැබැයි පොලිසියට අහු වෙන්න යන නිසා ඒ වැඩෙත් හබක්. පොලිසියෙන් බේරෙන්න දුවන අතරේ බර්ෆි දකිනවා වාහනයක් ඇතුළේ ජිල්මිල් සිහි නැතිව ඉන්නවා. බලනකොට ඒ තමයි කලින් පැහැර ගත්ත කට්ටිය. ජිල්මිල්ගේ තාත්තා ඒ පැහැර ගත්ත කෙනාට සල්ලි දෙනවා. හරියට ම ඒ වෙලාවේ බර්ෆි ටක් ගාලා වාහනයයි, ජිල්මිල්වයි අරන් පැනලා යනවා.

වාහනය කැලයක නවත්තලා බලාගෙන ඉන්නකොට ජිල්මිල්ට සිහිය එනවා. බර්ෆි දන්නවා නේ ජිල්මිල් ව බලා ගන්න හැටි. එයා කැලේ ඉන්න කණාමැදිරියන් අල්ලගෙන එක එක සෙල්ලම් දානවා. ජිල්මිල් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බර්ෆිගේ පස්සෙන් එයාගේ ගෙදරට එනවා. එයා බර්ෆිනව අඳුනන නිසා සැකයක් හිතන්නේ නැහැ. ඒත් මේ කෙල්ලට තනියම ටොයිලට් එකටවත් යන්න බැහැ අන්තිමට කලිසම බුරුල් කරලා එයාට උදව් කරන්න වෙන්නෙත් බර්ෆිට ම තමයි. අනේ අනිච්චිං…

නිදා ගන්න යද්දී ජිල්මිල් බයයි තනියම ඉන්න. ඒ නිසා එයා බර්ෆිගේ සුළැඟිල්ලෙන් අල්ල ගන්නවා. හ්ම්… ඔය ප්‍රශ්න ඔක්කෝම අතරේ බර්ෆි රෑට ගිහින් තාත්තාව බලලා, නාවලා එහෙමත් එනවා. ඒ අතරේ තමයි එයා යහළුවා එක්ක එකතු වෙලා ජිල්මිල්ගේ තාත්තාට ලියුමක් ලියන්නේ. ඉතින් ඒ තාත්තා ලියුමේ හැටියට සල්ලි ගිහින් තියනවා. පොලිසියත් ඉන්නවා. ඒත් බර්ෆිලා උපායකින් සල්ලි ටික අරගෙන ගිහින් ඉස්පිරිතාලයට දෙනවා. අනේ… ඒත් මොකටද? තාත්තා ඒ වෙනකොටත් බර්ෆිව දාලා ගිහින් ඉවරයි.

දැන් ඉතින් ජිල්මිල්ට මොකද කරන්නේ? බර්ෆි එයාව ගෙදරට ගිහින් දානවා. ඒත් ජිල්මිල් ආයෙමත් එනවා. මහ පුදුම කෙල්ලෙක්. එයාට දැන් බර්ෆි නැතිව ම බැහැ වගෙයි. බර්ෆි කොයි තරම් උත්සාහ කළත් ජිල්මිල්ගෙන් ඈත් වෙන්න, ජිල්මිල් යන්නේ ම නැහැ. මඩ නාගෙන, කෑ ගහගෙන බර්ෆි පස්සෙන් ම වැටෙනවා හැරෙන්න එයාට වෙන කිසිම දෙයක් වුවමනා නැහැ. ඔය අතරේ පොලිසියෙන් හොයා ගන්නවා බර්ෆි තමයි ජිල්මිල්ව පැහැර ගත්තේ කියලා. ඒ නිසා එයාලත් බර්ෆි පස්සෙන් පන්නනවා. වෙන කරන්න දෙයක් නැති කමට බර්ෆි කෙල්ලවත් අරන් කල්කටාවට යනවා. එහෙ ගෙයක් අරන් ඒ දෙන්නා පුංචි පුංචි කුලී වැඩ කරලා ජීවත් වෙනවා.

“මේ තරම් සිනහවක්

මේ තරම් සතුටක්

සදේ මේ තරම් සොඳුරු බවක්…

සිතෙහි හැඟීම් දැක

දුක පැන ගියා…”

ජිල්මිල් බර්ෆිට අකුරුත් උගන්වනවා. හැබැයි B අකුර ලියන්නේ අනිත් පැත්තට. කෑම කනකල් ජිල්මිල් බර්ෆිට පවන් ගහනවා. හැබැයි අතට වඩා හෙලවෙන්නේ ඔළුව. දෙන්නා එක්ක කණ්ණාඩිවලින් සෙල්ලම් කරනවා. දෙන්නට දෙන්නා හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ.

ඔය අතරේ තමයි එක දවසක් බර්ෆිට ආයෙමත් ශෘතීව හම්බ වෙන්නේ. එතකොට ශෘතී කසාද බැඳලා. බර්ෆි එයාව එක්කගෙන ගිහින් ජිල්මිල්ට හඳුන්වලා දෙනවා. ශෘතී හිතන්නේ ඒ දෙන්නා බැඳලා ඉන්නේ කියලා. ඒත් බර්ෆි කියනවා ජිල්මිල් සහ තමන් අතර තියෙන්නේ යහළුකමක් විතරක් බව. ඔහොම ඔහොම බර්ෆියි ශෘතීයි ආයෙමත් පරණ යහළුකම පටන් ගන්නවා. එයාලා එහෙ මෙහෙ යනවා, කනවා, බොනවා. ශෘතී දැන් වැඩි හරියක් ඉන්නෙ බර්ෆිගේ ගෙදර. කවුරුවත් නොහිතුවාට ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කතා නොකළත් ජිල්මිල් කියන්නේ ගැහැනියක්. එයාට දැනෙනවා ශෘතී ගැන ලිංගික ඊර්ෂ්‍යාවක්. ඒ නිසා එයාත් උත්සාහ කරනවා ශෘතී වගේ වෙන්න. හැඩ වෙන්න… සාරි අඳින්න.. ඒක කරන්න බැරි බව දැනුණා ම තරහා වෙලා යන්න යනවා.

බර්ෆි දැන ගත්තම ජිල්මිල් නැති බව, එයා කලබල වෙන්නේ එයාටවත් හිතා ගන්න බැරි විදිහට. බර්ෆි පිස්සු හැදිලා වගේ ජිල්මිල්ව හොයනවා. ඉස්සෙල්ලා ම පාර හැම තැනම හොයනවා. කෝ? නෑ. ගෙදරත් බලනවා. ඒත් නෑ. බර්ෆිට කතා කරන්න බැරි නිසා විසිල් එකක් තමයි ගහන්නේ. ඒත් හොයා ගන්න නම් බැරි වෙනවා. බැරිම තැන ශෘතී පොලිසියේ පැමිණීල්ලක් දානවා ජිල්මිල් කල්කටාවේ දී අතුරුදහන් වෙලා කියලා. පොලිසියට හරි ප්‍රශ්නයක්. මේ වෙනකොට ජිල්මිල් තුන් සැරයක් අතුරුදහන් වෙලා තියනවා. එකක් ගෙදරින්. අනික සල්ලි දෙන්න යද්දී වාහනයත් එක්ක අතුරුදහන් වුණා. දැන් කල්කටාවෙන්.

මේ වතාවෙත් ලියුමක් එනවා රු.100000ක කප්පමක් ඉල්ලලා. ජිල්මිල්ගේ තාත්තා ඒක දුන්නට පස්සේ කප්පම්කාරයා කෙල්ලත් එක්ක ම වාහනය ඇළට තල්ලු කරලා දානවා. මිනිය වත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. මේකට වරදකාරයා කවුද කියලා පොලිසියට හිතා ගන්න බැහැ. ඒ නිසා ලෙහෙසි ම විසඳුමට යනවා. ඒ තමයි ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි බර්ෆිට චෝදනා කිරීම. ඒත් බර්ෆි ගැන හොඳට දන්න පොලිසියේ මහත්තයා කීයටවත් එයාට කරදරයක් වෙන්න ඉඩ තියන්න කැමති නැහැ. ඒ නිසා ශෘතීට කතා කරලා කියනවා බර්ෆිව ඈතකට අරන් යන්න කියලා. රංජිත් ශෘතීට තර්ජනය කරනවා ගියොත් ආයෙ එන්න එපා කියලා. ඒත් ජීවිතයේ පළමුවෙනි වතාවට ශෘතී තමන්ගේ හදවතට ඇහුම්කන් දීලා බර්ෆිත් එක්ක කල්කටාවට යනවා.

ශෘතී හිතන්නේ දැන් තමන් දිනුම්, තමන්ට බර්ෆි එක්ක අලුත් ජීවිතයකත් පටන් ගන්න පුළුවන් කියලා. ඒත් එයා කොයි තරම් උත්සාහ කළත් ජිල්මිල් නැති බර්ෆිගේ මුහුණට හිනාවක් ගන්න ලැබෙන්නේ නැහැ. බර්ෆි ශෘතීට ජිල්මිල්ගේ දේවල් අල්ලන්නවත් දෙන්නේ නැහැ. අන්න ඒ කාලයේ ශෘතී තේරුම් ගන්නවා බර්ෆිගේ හිතේ තවදුරටත් තමන්ට ඉඩක් නැති බව. එයා කොයි තරම් තමන්ගේ ආදරය හොයාගෙන ගියත් වැඩක් නැහැ. ශෘතී පරක්කු වැඩියි.

දවසක් බර්ෆි ජිල්මිල් ගෙදර ඉන්නකොට බිත්තියේ ඇඳලා තිබුණු දේවල් කියවද්දී, එයා එකපාරට දකිනවා ටෙලිෆෝන් නොම්මරයක්. බලද්දී ඒ අර කලින් හිටිය සීයාගේ ගෙදර නොම්මරය. මේ දෙන්නා පුළුවන් ඉක්මනට එහෙට යනවා. ඒත් ඒ සීයා කියන්නේ ජිල්මිල් එහෙ ආවේ නැහැ කියලා. සීයා මොනවා කිව්වත් බර්ෆිට ඒක විශ්වාස නැහැ. එයාගේ හිත කියනවා ජිල්මිල් මෙහෙ ඉන්නවාමයි කියලා. ඒ නිසා එයා දුවලා ගිහින් ඒ ගෙදර කාමරවලයි, එළියේ යි හැම තැනම ජිල්මිල්ව හොයනවා. මිදුලට ගිහින් සපත්තුව උඩ දදා බලනවා උඩ තියෙන ජනෙල් දිහා. ඒත් ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මේ දෙන්නා ආපහු යන්න හැරෙනවා. ඒත් ඇත්තටම ජිල්මිල් උඩ තට්ටුවේ හිටියා. එයා දකිනවා සපත්තුව. එයා ටිකක් වෙලා කල්පනා කරලා, ජනේලේ ඇරලා කෑ ගහනවා. ඒත් කෝ… බර්ෆිට ඇහෙන්නේ නැහැ නේ. බර්ෆිට නෑහුණාට ශෘතීට හොඳට කන් ඇහෙනවා නේ. ඒත් ශෘතී ඒක කොහොමටවත් බර්ෆිට කියයිද? කිව්වොතින් එයාට බර්ෆිව නැති වෙනවා නේ.

හ්ම්… ශෘතී නම් මහ පුදුම කෙල්ලෙක්. එයා ආපහු හැරෙනවා. 

සුප්‍රසිද්ධ අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයෙන්, සංජීව් දත්තාගේ තිර රචනයෙන් හා ප්‍රීතම් චක්‍රබෝර්තිගේ සංගීතයෙන් හැඩ වී, රන්බීර් කපූර් (බර්ෆි), ප්‍රියංකා චොප්රා (ජිල්මිල්), ඉලියානා ඩි ක්‍රෑස් (ශෘතී) ආදීන්ගේ රංගනයෙන් පිරිපුන් වූ “BARFI” චිත්‍රපටය 2012 වසරේදී රසිකයින් වෙත පිදුණු අපූර්ව නිර්මාණයකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි