Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු ප්‍රහාරයම ජයග්‍රහණයට හේතුවක් කර ගත් ජනාධිපතිවරයාට එම වාර්තාව භාර දීම ගැටළුවක් – පාස්කුවේ පිටු ගැලවී සුළගේ දුවන්නත් පුළුවන්

පාස්කු ප්‍රහාරයම තම ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා හේතුවක් කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතටම පාස්කු කොමිසම් වාර්තාව පත්වීම බරපතල ගැටළුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට අදාළ කොමිසම් වාර්තාව විකෘති කිරීම් වලට ලක් වීමේ අවධානමක් ඇති බවයි.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාර දී ඇතත් එය තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ට හෝ රටේ ජනතාව ලබා දී නොමැති නිසා එහි සඳහන් වන්නේ මොනවාද කොමිසමේ නිර්දේශ මොනවාද යන්න පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද පෙන්වා දෙන දිසානායක මහතා , එසේ තිබියදී එම වාර්තාවේ ඇතැම් නිර්දේශ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවත්, ඒවා සත්‍යද අසත්‍යද යන්න හෝ ප්‍රකාශ කළ නොහැකි බවත් පෙන්වා දෙනවා.

අවසන් වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටින බවට මාධ්‍ය වාර්තා පළවන අතරතුරම වික්‍රමසිංහ මහතා අදාල පිරිස අතර නොමැති බවට තවත් මාධ්‍ය වාර්තා පළවන අයුරු පවසන අනුර කුමාර දිසානායක මහතා මේ හරහා බරපතල සැකයක් නිර්මාණය වන බව පවසනවා.

මීට පෙර මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවද පාර්ලිමේන්තුවේ සභාගත කළේ යම් යම් කොටස් අතුරුදන් කර බවට තවමත් ඇතැම් වාර්තා පළවන බවද පෙන්වා දුන් දිසානායක මහතා මෙවැනි තත්වයන් ඇති නොවීම සඳහා ඇති හොඳම විසඳුම මෙවැනි ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා ජනාධිපතිවරයාට ලබාදෙන අවස්ථාවේදීම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේද පිටපතක් තැම්පත් කිරීම බව අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.