Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පල්ලේගම සිරිනිවාස හිමියන්ට වජිරගෙන් ලිපියක්..

කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිපදවන ලද බව කියන කොරෝනා වෛරසය එරෙහි පැණිය අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට අවසර ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී මහා බෝධිය අටමස්ථානාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේට සමස්ත බෞද්ධ ජනතාවගේ ගෞරවය පුද කරන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

අටමස්ථානාධිපති හිමියන්ට ලිපියක් යොමු කරමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින මළුව ඉතාමත් ගෞරවණීය පූජනීය ස්ථානය බවත් එම ස්ථානයේ ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

” අප විසින් මාධ්‍යයෙන් දැකගත් පරිදි ලෝකවසංගතයක් වී ඇති කොරෝනා රෝගයට පැණියක් සොයාගෙන ඇති බව විවිධ මාධ්‍ය හරහා සංදර්ශන ක්‍රියාවලියක් පසුගිය සතිය පුරාම අප විසින් දැකගනු ලැබුවා.එම සංදර්ශනයම තවත් අවස්ථාවක් ලෙස ඔබවහන්සේ බැහැ දැක ඔබවහන්සේටද එම ද්‍රව්‍ය පිළිගන්වා අවසානයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමට කටයුතු කිරීමේදී ඒ සඳහා ඔබවහන්සේ විසින් අවසර ලබා නොදීම සම්බන්ධයෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවය ඔබ වහන්සේට පිරිනැමීමට කැමැත්තෙමු” යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ ස්ථානය පිළිබඳ නිසි අවබෝධයක් නැති බෞද්ධයන් සිටී නම් එය ඉතාමත් කණගාටුවට කරුණක්. ගරුතර මහා සංඝයාවහන්සේලා විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ වසර දහස් ගණනක පෙර සිට ආරක්ෂා කරමින් සිටින බවත්, තමන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි කාලයේදී ද තීරණ ගනු ලැබුවේ ඔබවහන්සේගේ අවවාද අනුශාසනා මත බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සෑමවිටම අප වෙත උපදෙස් ලබා දුන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිපාලන කටයුතු වලදී අටමස්ථානාධිපති හිමියන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන එම කටයුතු ක්‍රියාත්මක කරන ලෙසයි.

ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින ස්ථානයේ යම් යම් ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් අප දන්නා තරමින් උද්භිද උද්‍යාන වල ඉන්න උපදේශකවරුන්ගේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බවත් ඒ අනුව ඔබවහන්සේ ලෝකවාසී ජනතාවගේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ආරක්ෂා කිරීම සඳහා සිනහමුසු මුහුණින් එවැනි පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීම ජාතිය වෙනුවෙන් සිදු කළ වැදගත් ක්‍රියාවක් ලෙස තමන් දකින බවයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මෙහිදී සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

” විශේෂයෙන් කොරෝනා උවදුර ඇති වී තිබෙන අවස්ථාවක ලෝකයේ, ශ්‍රී ලංකාවෙ වගකීම වන්නේ මෙවැනි වසංගතයක් සඳහා කිසිදු බෙහෙතක් පුද්ගලිකව පුද්ගලයන්ට හෝ සංවිධාන වලට සමාජ ගත කිරීමට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවයි. ලෝකයේ වෙන රටවල මේ සඳහා බෙහෙතක් ඉදිරිපත් කරන්නේ නම් එය අදාල සෞඛ්‍ය පර්යේෂණ අංශ වල ඉදිරිපත් කර අනුමැතියට යටත්ව රජයේ අනෙකුත් නීති රීති වලටද යටත්ව අනුමත කරගෙන ක්‍රියාත්මක කිරීම ලෝක ප්‍රජාව විසින් පිළිගත් ක්‍රමවේදයයි.

අප රට තුළද ගිනිපෙට්ටියක්, ඉටි පන්දමක් වෙනත් ආහාර පාන ද්‍රව්‍ය, බීම බෝතලයක් හෝ වෙනත් ඕනෑම කෑම වර්ගයක් සමාජයේ ප්‍රචලිත කිරීමට අවශ්‍ය නම් ඒ ඒ ද්‍රව්‍යයට අදාල ආයතනයේ අනුමැතිය ලබා ගත යුතුයි. සෑම ආහාර ද්‍රව්‍යයකම, සෑම බෙහෙතක්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය, එහෙම නැතිනම් SLS සළකුණ සටහන් විය යුතුය. මෙය ඉතා සරල අත්දැකීමකි. දන්සැලක දානයක් නිකුත් කිරීමේදී මහජන පරීක්ෂකවරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ දන්සැල පවත්වාගෙන යා යුතුය.

එවන් අවස්ථාවක වගකිවයුතු රජයක් හැසිරෙන ආකාරය පිළිබඳ බලවත් සේ කණගාටුවටත් කම්පාවටත් පත්ව ඇති බවයි මෙහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලාංකික බෞද්ධ පුරවැසියෙකු ලෙස මෙම පුද්ගලයා ඔබවහන්සේ ඉදිරියේ හැසිරුණු ආකාරය දුටු විට මෙවැනි පුද්ගලයෙකුගෙන් ලබා ගත හැති ආදර්ශය කුමක්ද? ඔහු විසින් ලබා දෙන බෙහෙත හෝ ද්‍රව්‍ය (පැණිය) සමග මිශ්‍රවී තිබෙන ඔහුගේ ලක්ෂණ අනුව වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තන්හාව ගොණු වී ඇති බව ඔහුගේ දර්ශන වලින් පෙනී ගියා.


එවැන්නෙක් විසින් රෝගියෙකුට ලබා දිය යුත්තේ දයාව, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව මිස දේශීය හො බටහිර වෛද්‍ය විද්‍යාව අපහාසයට ලක් කිරීමනොවේ. එය සියළු වෛද්‍ය විද්‍යාවන්ට කරන ලද අගෞරවයක් ලෙස අපි දකින්නෙමු.


මේ පිළිබඳ මම පුදුමයට පත්වීමී. මම කාලි ඔබවහන්සේගේ අම්මා මේ ඇවිල්ලා ඉන්නේ කියනකොට බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයක් නොමැති මෙවැනි අවාසනාවන්ත පුද්ගලයන් ජාතියේ ඉරණමට මහා හානිකර දායක පුද්ගලයන් බව අපට පෙනී යනවා.

2013 වර්ෂයේදී මේ පුද්ගලයා සම්බන්ධයෙන් නෙත් FM බැලුම්ගල වැඩසටහනකින් සමාජයට මොහු පිළිබඳ අර්ථකතනයක් ලබා දී ඇති බවද සිහිපත් කරමි.

මෙවැනි පිස්සන් විසින් සමාජගත කරන අවාසනාවන්ත සිද්ධි වලට මහජනතාව හසුනොවී ශ්‍රී ලංකා ආයුර්වේද ඉතිහාසය අනුව කොත්තමල්ලි, වෙනිවැල්ගැට, බාම්වැල්ගැට නොයෙක් අවස්ථාවල භාවිතා කිරීම ආයුර්වේදයේ සහතික කර ඇති ක්‍රමවේද අනුගමනය කරමින් ශ්‍රී ලාංකික ආයුර්වේදය අනුව තමන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීමට අපට පුලුවන්කම ඇත.

ලෝකයේ අනිත් රටවල මෙවැනි පුද්ගලයෙකු මේ අකාරයට හැසිරුණහොත් නීතියෙන් දඬුවම් කරනු ලැබේ. මෙවැනි ලෝක වසංගතයකට හිතුන හිතුන පුද්ගලයන්ට යම් යම් ද්‍රව්‍ය අලෙවි කිරීම නීතියෙන් තහනම්ය. ජාත්‍යන්තර නීතිය අනුවත් තහනම්ය. ශ්‍රී ලාංකික නීතිය අනුවත් තහනම්ය. පාරිභෝගික අධිකාරිය විසින් කල් ඉකුත් වුණු සියලු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට නීති තියෙන රටේ මහජනයාගේ සෞඛ්‍යයට අදාල මෙවැනි ද්‍රව්‍යයක් සමාජගත කිරීම තුළින් සමාජයට මහත් හානියක් සිදු කරන බව අපට ඉතා පැහැදිළි බවයි හිටපු අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර ඇත්තේ.