Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පක්ෂ විපක්ෂ මැද තැලෙන වෙනිසුවෙලාව.

කිසියම් රටක ජනාධිපතිවරයාත් විපක්ෂ නායකවරයාත් එකිනෙකාට විරුද්ධව ඇනකොටා ගන්නේ නම්, එවන් රටක ජනතාවට යන කලදසාව කුමක් ද? ඔවුනට ගන්නට සිදු වන්නේ කාගේ පාර්ශ්වය ද? ජාත්‍යන්තරය සහාය දැක්විය යුතු වන්නේ කුමන පාර්ශ්වයට ද? අවසානයේ දී අදාළ ගැටුමට සම්බන්ධ වන සියලු බාහිර පාර්ශවයන්ට ඇල්ලූ අත්තත් පය ගැසූ අත්තත් යන දෙක ම නැති වනු ඇත්ද?

වෙනිසුවෙලාවේ පැන නැගී ඇත්තේ ද එවැනි ම ගැටලුවකි. ඒ අනුව එහි ජනාධිපතිවරයා වන නිකලස් මදුරෝ බලයෙන් පහ කිරීම සඳහා විපක්ෂ නායකවරයා වන හුවාන් ගයිදෝ කුමන්ත්‍රණය කරමින් සිටී. ඔහුගේ මූලික චෝදනාව වන්නේ මෙම වසරේ ජනවාරි 10 වන දින දිවුරුම් දී ජනාධිපති බවට පත් වූ නිකලස් මදුරෝ නමැති පුද්ගලයාට, එම තනතුර සඳහා කිසිදු අයිතිවාසිකමක් නොමැති බව ය. මන්දයත් විපක්ෂය පසුගිය වසරේ මැයි මාසයේ දී පැවැත්වුණු ජනාධිපතිවරණය වර්ජනය කළ බැවින්, එය ආණ්ඩු පක්ෂය පමණක් නියෝජනය කළ ඡන්දයක් බවට පත් වූ හෙයිනි. විපක්ෂය අසන්නේ “තරඟකරුවෙකු නොමැති ව ඔහු ජය ගත්තේ කෙසේද?” යන්නයි. 

“නිකලස් මදුරෝ මොරොස්” වෙනිසුවෙලාවේ උපන්න ද, ඔහුගේ මුතුන් මිත්තන් යුදෙව් ජාතිකයින් වන බැවින් තමාට ඇත්තේ මිශ්‍ර සම්භවයක් බව ඔහු ම පිළි ගනී. එහෙත් 2006 වසරේ සිට වෙනිසුවෙලාව තුළ දේශපාලනයේ නිරත වන ඔහුට පුරවැසිභාවය පිළිබඳ කිසිදු ගැටලුවක් පැන නැඟුණේ නැත. 2013 වසරේ සිට 2019 වසර දක්වා එරට ජනාධිපති තනතුර හෙබවූයේ ද ඔහු ය. එනම්, මේ ගත වන්නේ නිකලස්ගේ දෙවන ධූර කාලය යි. 

වෙනිසුවෙලාව පිළිබඳ කතා කරන විට නොකියා ම බැරි කාරණයක් වනුයේ හියුගෝ චාවේස්ගේ අනුග්‍රාහකත්වය යි. ලෝක සිතියම තුළ සැඟවී තිබුණු රටක් මෙතරම් දියුණු මට්ටමට ගෙන ආවේ අන් කිසිවෙකුත් නොව චාවේස් ය. ඒ, සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් යටතේ ය. ඇමරිකානු කුමන්ත්‍රණයක් යැයි සැක කෙරෙන පිළිකා රෝගයකින් ඔහු මිය ගිය පසු, ඊළඟ අනුප්‍රාප්තිකයා වූයේ නිකලස් මදුරෝ ය. විශේෂත්වය වනුයේ චාවේස් සිය මරණයට පෙර මදුරෝ මීළඟ නායකයා ලෙස නම් කොට තිබීම යි. 

හුවාන් ගයිදෝ ද එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඔහු ද 2009 වසරේ සිට එරට දේශපාලනයේ නිරත වේ. තවද හුවාන් යනු වෙනිසුවෙලාවේ ම මුල් බැස ගත් පරම්පරාවක් සහිත වයස 36ක තරුණ ජවයෙන් හෙබි නායකයෙකි. එහෙත් ඔහු ඇමරිකානු ඉත්තෙකු බවට එරට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා නැඟේ.

කුමන්ත්‍රණයේ මුල.

මෙම සිදුවීම කුමන්ත්‍රණයක් යැයි පැවසිය හැකි නම්, එය ඇරඹෙන්නේ 2019 වසරේ සිට ය. නීත්‍යනුකූල මෙන් ම නිදහස් වූ ද මැතිවරණයක් අපේක්ෂාවෙන් මැයි මස ජනාධිපතිවරණය තෙක් කල් යල් බැලූ විපක්ෂ නායකවරයාට සිදු වූයේ ඡන්දයට පෙනී සිටීමත් අත්හැර දැමීමට ය. කවුරුන් කෙසේ කීව ද ගිය වසරේ ජනාධිපතිවරණය පැවැත්වුණේ  විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ පිරිසක් සිරගත කොට තිබියෙ දී ය. ඉතිරි අයගෙන් කොටසකට ඡන්දය තහනම් කෙරිණි. අනෙක් අතලොස්ස ද සටන අත්හැර දැමූහ. 

මේ වෙනුවෙන් සාධාරණයක් ඉටු වෙතැයි බලා සිටිය ද, තනි ව තරඟ කළ නිකලස් මදුරෝ, අන්‍යයන් පිළිබඳ කිසිදු වග විභාගයකින් තොරව දිවුරුම් දුන්නේ ය. එදින පටන් ම වෙනිසුවෙලාවේ බොහෝ ප්‍රදේශවලින් විරෝධතා දියත් කෙරුණු බව පෙනේ. එරට ජනතාව අදටත් සිටින්නේ වීදි බසිමිනි. විශේෂයෙන් ම කරකාස් අගනුවර පිරී පවතින්නේ විරෝධතාකරුවන්ගෙනි. දෙපාර්ශවයට අයත් ජනතාව එකිනෙකාට පහර දෙන අවස්ථා කිහිපයක් ජාත්‍යන්තර මාධ්‍යයට ද නිකුත් වී තිබේ.

සියල්ල බලා සිටි විපක්ෂ නායක හුවාන් ගයිදෝ, තවදුරටත් ඉවසා සිටිය නොහී ජනවාරි 23 වන බදාදා දින ප්‍රසිද්ධියේ සිය විරෝධය ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ ඡන්දය නීත්‍යනුකූල නොවූ බැවින් පත්වීම ද නීතියට අනුගත නොවන අතර, එහෙයින් ව්‍යවස්ථාව අනුව විපක්ෂ නායකවරයා වන තමා හට වෙනිසුවෙලාවේ අන්තර්වාර නායකයා බවට පත් වීමේ අයිතිය ඇති බව ය. ඒ අනුව නැවත ඡන්දයක් පවත්වා නිවැරැදි ක්‍රමයට අනුව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා තුරු රට ගෙන යාමේ පූර්ණ වගකීම ඇත්තේ හුවාන්ට ය. 

පසුගිය අප්‍රේල් මස 30 වන දින මිනිත්තු තුනක පමණ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ හුවාන්, මේ සඳහා තමාට හමුදාවේ පූර්ණ සහාය ද ලැබෙන බවත් එබැවින්, ඒකාධිපතියෙකු වන නිකලස්ගේ පාලනය අවසන් කිරීමේ අන්තිම අදියර දක්වා තමන් පැමිණ සිටින බවත් ප්‍රකාශ කළේ ය. මෙයින් පසුව උද්ධමනය, විදුලි කප්පාදුව, ආහාර හා ඖෂධ හිඟය වැනි “නිකලස්කාලීන ගැටලු”වලට ඉක්මන් විසඳුම් ලැබෙනු ඇති බවට ඔහු විශ්වාස කරන බව ද කියවිණි.

මෙය කන වැකුණු පසු නිකලස් මදුරෝගේ ප්‍රතිචාරය වූයේ තරමක උදාසීන පිළිවෙතකි. එනම්, තමාට විරුද්ධ ව සුළු කුමන්ත්‍රණයක් දියත් වන බවත්, එය හැකි පමණින් මැඬ පැවැත්වීමට උත්සාහ ගන්නා බවත් ජාත්‍යන්තරයට ප්‍රකාශ කිරීම ය.

කුමන්ත්‍රණයේ අග.

එහෙත් සිදු වූයේ හුවාන් ගයිදෝ ඇතුළු පිරිස සිහිනයකින්වත් නොසිතූ දෙයකි. හමුදාව එක්වර ම නිකලස්ගේ පාර්ශවය ගත් අතර ඒ අනුව එරටින් වැඩි පිරිසක් වත්මන් ජනාධිපතිවරයා පිළිගන්නා තත්ත්වයට පත් විය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළ බවට චෝදනා කොට හුවාන් ගයිදෝගේ පාර්ශවකරුවන් සිරගත කෙරිණි. එහෙත් යුරෝපා සංගමයේ ඉල්ලීමට අනුව ගයිදෝ නිවාස අඩස්සියට පමණක් ලක් කොට ඇති අතර ඔහුගේ විදෙස් ගමන් සියල්ල තහනම් කොට තිබෙන බව ද සඳහන් වේ.

ජාත්‍යන්තරයේ මැදිහත්වීම.

ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකානු රටවල් හතක්, කැනඩාව හා එක්සත් රාජධානිය ඇතුළු බලවත් රටවල් ගණනාවක් ම විපක්ෂ නායක හුවාන් ගයිදෝගේ පාර්ශවය ගෙන තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයෙන් වැඩි පිරිසක් හුවාන් යනු වෙනිසුවෙලාවේ නිළ නායකයා බව පිළිගනිති.

එහෙත් රුසියාව හා තවත් රටවල් කිහිපයක් අනුගමනය කරමින් සිටිනුයේ මීට හාත්පසින් ම විරුද්ධ ක්‍රියාපටිපාටියකි. රුසියාවේ මූලික අදහස වන්නේ ජාත්‍යන්තරය පවතින රජයට නොව විපක්ෂයට සහය දැක්වීම තුළින්, වෙනිසුවෙලාව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වන බව ය. එය ලේ හැලීමක් දක්වා වර්ධනය විය හැකි බව පවසන ඔවුහු, මෙම ගැටලුව සම්පූර්ණයෙන් ම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් යැයි පැහැදිලි වන බව කියා සිටිති. 

රුසියාව මෙතරම් මදුරෝ පාර්ශවය ගන්නේ මන්ද යැයි සොයා බලන විට, දකුණු ඇමරිකානු රටවල් අතරින් රුසියාව හා වැඩි ම මිත්‍රත්වයක් පවත්වා ගන්නේ වෙනිසුවෙලාව බව පෙනේ. රුසියාව ඔවුනට ඩොලර් බිලියන ගණනක ණය සපයා දී ඇති අතර, තෙල් කර්මාන්තයට ද හමුදා පුහුණුවට ද සහාය දී තිබේ. ඇමරිකාව පිළිබඳ සොයා බැලීමේ දී, වෙනිසුවෙලාවේ සමාජවාදී ආණ්ඩු ක්‍රමය ඔවුනට හිසරදයක් වී ඇත්තේ දැනට වසර ගණනාවක සිට බව පෙනී යයි. එබැවින් පවත්නා ආණ්ඩුව පෙරළා දමා, තමාට හිතැති නායකයෙකු පත් කර ගැනීමට ඇමරිකාව දත කන බව පැහැදිලි ය.

චීනය මෙම ගැටලුව පිළිබඳ මැදහත් පිළිවෙතක් අනුගමනය කරමින් සිටියි.

වර්තමාන තත්ත්වය.

හුවාන් ගයිදෝගේ අනුදැනුම සහිත ව ඇමරිකානු ජාතිකයින් පිරිසක් නිකලස් මදුරෝ පැහැරගෙන යාමට සැලසුම් කර ඇති බවට චෝදනා කරන වෙනිසුවෙලානු ආණ්ඩු පක්ෂය, මේ වන විට එයට සම්බන්ධ දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එයින් දෙදෙනෙකු සිය වරද පිළිගෙන ඇත. ඔවුන් පවසන්නේ තමන් කරකාස් ගුවන් තොටුපොළ අල්ලා ගැනීමට පවා සැලසුම් සකස් කරගෙන තිබූ බවත්, ඒ වෙනුවෙන් පුහුණුවක් ද ලැබූ බවත් ය. ඇමරිකානුවන් තමා බලයෙන් පහ කොට රට අල්ලා ගැනීමට උත්සාහ කරන බවට මදුරෝ මීට පෙර ද කිහිප වතාවක් ම චෝදනා කර තිබේ. 

එහෙත් ඇමරිකානු රජය මෙම චෝදනාව පිළි ගන්නේ නැත. එසේ ම මේ වන විට සිරගත කොට ඇති තම රටවැසියන් සියලුදෙනා නිරුපද්‍රිත ව ගෙන්වා ගැනීමට ගත යුතු සෑම පියවරක් ම ගන්නා බව ද ඔවුහු පවසති. එය කුමන අන්දමේ පියවරක් වුව ද එහි ආදීනව නොතකන බවට ඇමරිකාව වෙනිසුවෙලාවට අනතුරු අඟවා තිබේ.

කෙසේ වුවත් මරණීය වසංගතයකින් පීඩා විඳිමින් සිටින මෙම අවස්ථාවේ දී අනුන්ගේ ඇසේ රොඩු සෙවීමට පෙර තමන්ගේ ඇසේ හිර වී ඇති පොල් පරාල ගලවා ගැනීමට ජාත්‍යන්තරය උත්සාහ දරන්නේ නම් වඩාත් ප්‍රතිඵලදායක වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.