Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගර්භනී එස්කිමෝවරුන්ගේ අමුතු කතා.

එස්කිමෝවරුන් ජීවත් වන්නේ අධික ශීතලත් සමඟ ය. සෙල්සියස් අංශක ඍණ හතරකටත් අඩු උෂ්ණත්වය අපට දරා ගැනීමට අපහසු වුවත්, මොවුහු සිය ජීවිත කාලය පුරා ඊට පුහුණු වී සිටිති. එසේ නම් එස්කිමෝ මව්වරු අවම වශයෙන් ඔවුන්ගේ ගර්භනී අවධියවත් උණුසුම් ලෙස ගත කරන්නෝ ද? විමසා බලමු.

එස්කිමෝ දැරියෝ වැඩිවිය පත් වූ පසු විවාහ වුව ද අවම වශයෙන් වයස අවුරුදු දහසය පමණ වන තෙක් ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වළකිති. ගර්භනී වූ පසු ඇය ඒ බව මුළු ගෝත්‍රයට ම දැනුම් දිය යුතු ය. එසේ කරනුයේ එතැන් පටන් පවුලේ සාමාජිකයින්ට පමණක් නොව සියලු දෙනාට ම ඇගේ ආරක්ෂාවේ වගකීම භාර වන නිසා ය.

එයින් පසු කිසිවෙක් ඇයට වෙහෙස වීමට නොදෙති. ඇගේ සිත රිදවන්නේ ද නැති. දරුවා ගර්භාෂයට ඇලී සිටීම වැළැක්වීම සඳහා මවට තම කුස වරින් වර සම්බාහනය කිරීමට උපදෙස් දෙනු ලැබේ. 

උදෑසන අවදි වූ විගස ඇය නිවසින් පිටතට ආ යුතු ය. නිවසේ එදිනෙදා වැඩකටයුතු කිරීමට ඇයට අවසර ඇතත් නිරන්තරයෙන් විවේකයක් ද ගත යුතු ය. එහෙත් වැඩි වේලාවක් එක දිගට එක ම ස්ථානයක වාඩි වී සිටීම ඇයට තහනම් ය. නින්ද ද එසේ ය. එක දිගට නිදා ගැනීමට එම මවට ඉඩ දෙනු නොලැබේ. කවුරුන් හෝ වරින් වර නැගිට විත් ඇය අවදි කරයි. එසේ නොවුවහොත් දරුවා නියමිත කාලයේ දී ගර්භාෂයෙන් පිටතට පැමිණෙන්නේ නැති බව ඔවුහු සිතති. 

ගර්භනී මවකට පස්සෙන් පස්සට ඇවිදීම තහනම් ය. එවිට දරුවා ගර්භාෂයෙන් ගැලවෙනු ඇත. එසේ ම, යම් කාර්යයක නිරත වීමේ දී එය යුහුසුළු ව සිදු කිරීමට පුරුදු වීමෙන් දරුවා බිහි වීමට ගත වන කාලය අඩු වනු ඇත. ඔබ යමක් මසමින් සිටින්නේ නම් එය ඉක්මනින් නිම කළ යුතු අතර කිසිදු මොහොතක උදරය කැසීම සිදු නොකළ යුතු ය.

විරූපී පුද්ගලයින් දෙස බැලීම හෝ එවැනි ශාරීරික අඩුපාඩු පිළිබඳ කතා කිරීම ඇයට තහනම් ය. තව ද කිසිදු දෙයක් ගැට ගැසීම නොකළ යුතු අතර හැකි තරම් එසේ ගැට ගසා ඇති දේ ලිහිල් කළ යුතුය. යට ඇඳුම් ඇඳීමේ දී ඒවා ද ඉතා ලිහිල් ලෙස ඇඳීමට වග බලා ගත යුතු ය. එවිට දරුවා පහසුවෙන් බිහිවේවි. 

කිසිදු විටක ඇගේ අත් පිහි තලයක් යොදා ගනිමින් පිරිසිඳු කිරීම නොකළ යුතු ය. එවිට දරුවා බිහි කරන අවස්ථාවේ දී විවරය කැපීමට සිදු වනු ඇත. බැලුම් පිම්බීමත් කටින් බුබුළු පිඹීමත් ඇයට තහනම් ය. ඇගේ ඇඳ කාමරයේ දොරටුවට මුහුණ ලා තබනු ලැබේ. දොර හරහට ඇඳ තැබුවේ නම් දරුවා ද කුස තුළ හරහට සිටිනු ඇත. ප්‍රසූතියෙන් පසු ඇති විය හැකි රක්තහීනතාවයෙන් වැළකීම පිණිස ඇගේ යටිපතුල් උණුසුම් ව තබනු ලැබේ. කිසිදු විටක, කෙතරම් ශීත උෂ්ණත්වයක දී වුව ද ඒවා ශීතල වීමට ඉඩ තබන්නේ නැත. 

ගර්භනී මව්වරුන්ට කිසිදු මූල්‍යමය හේතුවක් මත හෝ අමු මස් වර්ග ආහාරයට ගැනීමට ඉඩ තබනු නොලැබේ. ඔවුන් අනිවාර්යයෙන් ම තැම්බූ හෝ පිසින ලද ආහාර ලබා ගත යුතු ය. බිරිඳ සමඟ එක ම නිවසේ ජීවත් වන්නේ නම් සැමියාට ද අමු මස් කෑම තහනම් ය. අසල නිවසක හෝ ගර්භනී කතක් සිටියි නම් තම නිවසේ සෑදෙන ආහාරවලින් හොඳ ම කොටස ඇයට ගෙන ගොස් දිය යුතු ය. 

ඇය සිය පිඟානේ ඇති ආහාර සියල්ල කෑමට ගත යුතු අතර අවසානයේ පිඟාන ලෙව කෑ යුතු ය. එවිට දරුවා ලස්සන වේ. සුප් බඳුන කට තබාගෙන එක දිගට බීවහොත් දරුවා කළු සමක් ඇත්තෙකු වනු ඇත. දරුවා මහත් වනු පිණිස සීල් මත්ස්‍ය කටු සූප්පු කිරීමට උපදෙස් දෙනු ලැබේ. ගර්භනී කාලය තුළ දී වැරදීමකින්වත් ඉටිපන්දම් කැබලි සිරුර තුළට යාමට ඉඩ නොතැබිය යුතු ය. එසේ වුවහොත් දරුවා ඉටි මෙන් සුදු පැහැ වැස්මකින් ආවරණය වී ඉපදෙනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.