Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කාකි ඇඳුමකින් බාපු බිල්ලෙක් වසන් වෙයි : පහළ නිලධාරීන් බය වෙයි : නීතිය කුඩු වෙයි

ඉමදුව OIC පොලිස් සුට් එකේ කැත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ දී බීමත් රියදුරෙකු මුදා හැරීමට පොලීසියට බලපෑම් සිදු කිරීමේ සිද්ධියක් සමග එහි වීඩියෝ පටයක් නිකුත් වී තිබෙනවා.

මෙම අවස්ථාවේ දී අධිවේගී මාර්ග කොට්ඨාසයේ රථවාහන අංශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා CAE – 0075 දරණ මෝටර් රථය නවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී එය පදවාගෙන ආ රියදුරු අසුනේ සිටි පුද්ගලයාගෙන් පොලිස් නිලධාරියා “සර් බීලද ඉන්නේ” යනුවෙන් විමසන අතර අදාල බීමත් පුද්ගලයා පවසන්නේ තමන් මත්පැන් පානය කර සිටින බවයි.

තමන් මත්පැන් පානය කළේ ඔබගේ OIC සමග බව පවසන අදාල රියදුරු පොලිස් නිලධාරින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් නොසලකා හරිමින් එම අවස්ථාවේ දී සිය දූරකථනය ගෙන එය ඇසීමට සලස්වනවා.

එම ඇමතුමෙන් සම්බන්ධ වන්නේ ඉමදුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා බව පැහැදිලි වන අතර ඔහු විසින් නිවැරදිව රාජකාරිය ඉටු කළ පොලිස් නිලධාරීයාට තිත්ත කුණුහරුපෙන් බැණ වදිමින් නියෝග කරන්නේ අධිවේගී මගෙහි බීමත්ව රිය පැදවූ අදාල රියදුරු මුදාහරින ලෙසයි.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝගයට කීකරු වන්නට සිදුවීමෙන් අදාළ පොලිස් නිලධාරීන්ට සිදු වන්නේ අවමන් විදිමින් අදාල බීමත් රියදුරා නිදහස් කිරීමටයි.

ලංකාවේ පොලීසිය සහ නීතිය

අසල සිටි පුද්ගලයෙකු මෙම සිදුවීම වීඩියෝ කිරීම හේතුවෙන් මෙම ඛේදනීය තත්වය සමාජයට වාර්තා වූ අතර මෙවැනි සිදුවීම් රැසක් සිදුවන බව තවත් සාක්ෂි සහිතව සඳහන් කළ හැකියි.

කොරෝනා හේතුවෙන් දැඩි සංචරණ සීමා පණවා තිබියදී මරදාන ආනන්ද හන්දියේ දී ව්‍යායාම කිරීමට බව පවසමින් ගමන් කළ පොලිස් ලොක්කෙකුගේ බිරිඳ නතර කළ පොලිස් නිලධාරියා මුහුණ දුන් සිදුවීම ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ පොලිසියේ යථාර්ථය කියාපානවා.

නීති ගරුක නිලධාරීන් සිදුව ඇත්තේ ඉහළ පුටුවල සිටින දූෂිතයන්ගේ නියෝගයන්ට අවනත වීමටයි.

ඉහත වාර්තා වූ සිදුවීම් සාමාන්‍ය සිදුවීම් ලෙස දැක්විය හැකි වුව ද එලෙසින් මාධ්‍යයට වාර්තා නොවන ලොවම කැළඹූ ලංකාවේ සිදුවූ මනුෂ්‍යය ඝාතන සහ පහරදීමේ සිදුවීම් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ පහළ පොලිස් නිලධාරීන්ට එල්ල කරන ලද බරපතළ රාජකාරීන් පීඩනයන් පිළිබඳව තොරතුරු අධිකරණ හමුවේ ද අනාවරණය වුණා.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් අධිකරණයේදී කරුණු හෙළි කළා.

සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද ?

රටක නීතිය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන පොලිසිය තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම පිළිකුල් සහගතයි.

එමෙන්ම ඒ හරහා පොලිසිය මහජන ගෞරවය සම්පූර්ණයෙන්ම දියවී යනවා.

අනිත් ඛේදනීය තත්ත්වය වන්නේ වැදගත් ලෙස රාජකාරි සිදු කරන පොලිස් නිළධාරින්ගේ ගෞරවය මෙන්ම ආත්ම විශ්වාසය ද මෙවැනි ක්‍රියා හේතුවෙන් අහිමි වී යාමයි.