Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඕස්ට්‍රේලියානුවෝ විරෝධයක

ඕස්ට්‍රේලියාව පුරා සිය ගණනක් සහභාගී වූ “ලොක්ඩවුන් විරෝධී ව්‍යාපාරය” මධ්‍යයේ මේ වන විට ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් දුසිම් ගනණක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙනේ. කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ කේන්ද්‍රස්ථානය වන මෙල්බර්න්හි මේ වන විට එහි මසක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින දැඩි නීතිරීති පවා නොසලකා හරිමින් රට වසා දැමීමට එරෙහි ව 300ක පමණ පිරිසක් පෙළපාළි යමින් සිටිති. එපමණක් නොව සිඩ්නි, බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් යන නගරවල ද මෙම විරෝධතාවල දිගුවක් දක්නට ලැබේ.

අගමැති “ස්කොට් මොරිසන්” පවසා සිටින්නේ රටේ ප්‍රාන්ත සහ ප්‍රදේශ අටෙන් හතක්ම දෙසැම්බර් මාසය වන විට ඔවුන්ගේ අභ්‍යන්තර දේශසීමා විවෘත කිරීමට එකඟ වී ඇති බවයි. රට විවෘත කළ පසු එහි සංචාරක කර්මාන්තය නංවාලීමට සහ ආර්ථික පුනර්ජීවනය සඳහා නවසීලන්තය ද තමන්ට උපකාරී වනු ඇතැයි ඔහු අනාවැකි පළ කළේය. “නිවැරදි එන්නතක් තවමත් සොයාගෙන නොමැති හෙයින්, අපට වසර ගණනාවක් වුව ද මේ ආකාරයෙන් ජීවත් වීමට සිදුවනු ඇත.”යි ඔහු අනතුරු ඇඟවීය.

 ඕස්ට්‍රේලියාව පුරා තහවුරු කරන ලද කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව පසුගිය මාස දෙක තුළ තුන් ගුණයකින් වැඩි වී ඇති අතර එම කාලය තුළ මරණ ගණන ද 104 සිට 748 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් මෙල්බර්න්හි විරෝධතාකරුවන් අධික පොලිස් බලඇණියක් මධ්‍යයේ පවා සිය නිදහස සහ මානව හිමිකම් ඉල්ලා හඬ නගන බව පෙනේ. වික්ටෝරියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය “ඩැනියෙල් ඇන්ඩෲස්” ද මෙම ව්‍යාපාරයට සහභාගී වූවන් අතර කැපී පෙනුණි.

පොලීසිය පැවසුවේ ඔවුන් මේ වන විට 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.  ලොක්ඩවුන් නීති උල්ලංඝණය කිරීම සඳහා දඩ 150කට වැඩි ප්‍රමාණයක් ද ඔවුන් විසින් නිකුත් කර තිබේ. සිඩ්නි නුවරින් දෙකක් සහ බයිරන් බොක්කෙන් තවත් කුඩා රැලි කිහිපයක් ද පැන නැඟී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. පොලිස් නිලධාරීන්ට පහර දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් තිදෙනෙක් ද අත්අඩංගුවේ පසු වෙති.

මෙම විරෝධතා බොහෝ දුරට මෙහෙයවනු ලබන්නේ වෛරසය ආශ්‍රිත එන්නත් – විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කරන “ෆ්‍රින්ජ් ඔන්ලයින්” නම් කණ්ඩායම විසිනි. අන්තර්ජාලය පුරා සැරිසරන කුමන්ත්‍රණ කණ්ඩායම් ද ඊට සහය දක්වති. විරෝධතා ව්‍යාපාරයට අන්තර්ජාලය හරහා ප්‍රචාරයක් ලබා දීම සම්බන්ධයෙන් ගැබිනි කාන්තාවක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙයට පෙර ද පොලිසිය වෙත විවේචන එල්ල විය. පසුගිය සිකුරාදා එම නිලධාරීන් හිටපු කායවර්ධන උපදේශකයෙකුගේ නිවසට කඩා වැදී තිබේ. ජූලි මාසයේ සිට අද දක්වා සති හයක පමණ කාලයක් වසා දමා තිබෙන ඕස්ට්‍රේලියාවේ බලධාරීන් විසින් මෙම රඳවා ගැනීමේ නීති සහ ඇඳිරි නීතිය පැනවූයේ වැඩියක් ම මෙල්බර්න් ප්‍රාන්තයේ ය. ඇඳිරි නීතිය හේතුවෙන් බොහෝ ව්‍යාපාර වසා දමා ඇති අතර ප්‍රාන්තය පුරා රැස්වීම් ද තහනම් කර ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි