Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව WHO නිර්දේශ කඩ කළ බවට චෝදනාවක් – පා.ම 19 කට බේත විදී

කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති නිර්දේශ රාජ්‍ය විසින් කඩ කර ඇති බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරනවා.

ඔහු පවසන්නේ කොවිඩ් එන්නත ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින් නොමැති බවයි.

එමෙන්ම රජය විසින් එන්නතේ දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතු කොටසද පළමු මාත්‍රාව ලෙස පුද්ගලයින්ට ලබා දීම හරහා දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබාදිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය ජනවාරි 28 වනදා ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ගෙන එන ලද අතර එය ප්‍රමාණවත් වන්නේ පුද්ගලයින් දෙලක්ෂ පනස්දහසකට පමණයි.

ඉන් මාත්‍රා 192,938ක් මේ වනවිට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින්ට ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ඉතිරිව ඇති එන්නත් 60 000 සහ මුල් එන්නත ලබාදුන් අය සඳහා ලබාදෙන දෙවන මාත්‍රාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

එන්නත ලබා දීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල මතක් කර දෙන කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ ගුරුවරු, මාධ්‍යවේදීන් ආදී විශාල පිරිසක් එහි ඉදිරියෙන්ම සිටින බවයි.

කෙසේ වෙතත් අද දිනය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සඳහා කොවිඩ් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදුන් බව යුධ හමුදාව තහවුරු කරනවා.

එමෙන්ම විපක්ෂය නියෝජන කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අදාළ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වුණා.

මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට එන්නත ලබාදීම සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බැවින් තමන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය දී ඇති අනුපිළිවෙලේ දේශපාලකයන් ඇතුළත්ව නොමැති බවද වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කරනවා.