Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අලුත්ම එක “උදයංග පොකුරයි” !! පැණි සහ මිත්‍යා කතා පතුරමින් ආණ්ඩුව අඩුපාඩු වසා ගැනීමේ උත්සාහයක – එජාපයෙන් චෝදනා

තම බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින ආණ්ඩුවට රටේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අමතක කර දමා ඇති  බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එමෙන්ම එය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

සංචාරක ව්‍යාපාරය නැවත ගොඩ නැඟීමට බව පවසමින් කටයුතු කරන ආණ්ඩුව ඒ හරහා ද රටට  කොරෝනා රෝගය ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට ද චෝදනා කරනවා. එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට  යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන් හරහා  ”උදයංග පොකුරකුත්” නිර්මාණය වීමේ අවදානමක් ඇති බවද ඔහු සඳහන් කළා.

තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ දේශපාලනය අතහැර ආණ්ඩුව මේ වසරේදී වත්   රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ  වගකීමෙන් කටයුතු කරනු දැකීම තම ප්‍රාර්ථනය බවද ඔහු සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ අදහස් පළ කළේ  “මුළාව පරදමු – එක් වී නැඟිටිමු”  යන තේමාව යටතේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන දීප ව්‍යාප්ත දිස්ත්‍රික් වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහනට එක්වීමට පෙර  ඓතිහාසික  සමන් දේවාලය වැඳපුදාගෙන ත්‍රිවිධ රත්නයේ සහ සමන් දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයවර්ධන මහතා, අද වන විට ආණ්ඩුව පැණි කතා සහ විවිධ මිථ්‍යාවන් සමාජය තුළ වපුරමින් කටයුතු කරන අකාරයද පෙන්වා දුන්නා.

ආණ්ඩුව එලෙස කටයුතු කරන්නේ ආණ්ඩුවේ අසමත් බව සහ දුර්වල බව සම්බන්ධයෙන් එල්ල වී ඇති දැවැන්ත ජනතා විරෝධය වෙනතකට යොමු කිරීමේ අරමුණින් බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ සියලු කරුණු සිදුවන අතරවාරයේ ආණ්ඩුව රටට සංවේදී  ජාතික සම්පත් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවද විජයවර්ධන මහාතා මෙහිදී හෙළි කළා.

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය සම්පත්  විකුණා දමන බවට  අභූත චෝදනා එල්ල කළ  වත්මන් ආණ්ඩුවේ සිටි කණ්ඩායම  මේ වන විට සිදු කරමින් තිබෙන්නේ  එම අභූත චෝදනාවන් යථාර්තයක් බවට පත් කරමින් කටයුතු කිරීම බවද සඳහන් කළා.

කොළඹ ගුවන් හමුදා මුලස්ථානයේ ක්‍රිඩාංගනය ද විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මෙහිදී පැවසුවා. 

ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින්,  රවටමින්  සහ මර්ධනකාරී ලෙස කටයුතු කරමින්  යන ආණ්ඩුව  පරාජය කිරීම සඳහා ආණ්ඩුවට එරෙහි සියලු  බලවේග ඒකරාශී කර ගැනීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.