Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හරීන්ට දස දෙසින් රැකවරණ – පාඨලීගෙනුත් සැර ප්‍රතිචාරයක්

ආණ්ඩුව සහ එහි පාලකයන් නයි දිෂ්ටි, මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක්කල ආකාරය අදවන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක්වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත්වනු බව නොඅනුමාන බවයි.

චම්පික රණවක මන්ත්‍රීවරයා මේ අදහස දක්වා තිබෙන්නේ “හරීන් ප්‍රනාන්දුට එරෙහි ජනාධිපතිවරයාගේ වියරුව පරදවමු..!” යනුවෙන් තම නිල Facebook පිටුවෙහි සටහනක් තබමින්.

අදාළ සම්පුර්ණ සටහන පහළින්..

හරීන් ප්‍රනාන්දුට එරෙහි ජනාධිපතිවරයාගේ වියරුව පරදවමු..!

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකල කතාවක් අරඹයා පැසුණු බුද්ධියක් සහිත දේශපාලකයෙකු විසින් නොකල යුතු ආකාරයේ ළඳරු විවේචනයක් ජනාධිපතිවරයා විසින් සිදුකර තිබේ.

ත්‍රස්තවාදියෙකු ඝාතනය කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙකු සිදුකල විවේචනය සංසන්දනය කරමින් ශිෂ්ඨ සමාජයට නොගැලපෙන ආකාරයේ තර්ජනාත්මක කතාවක් රටේ ජනාධිපතිවරයා විසින් සිදුකිරීම අප තරයේ හෙළා දැකිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයට පත්වීමෙන් පසුව ගතවූ මාස 13 ක කාලය තුලදී ඔහුගේ පාලනයට අභියෝගයක් වනු ඇතැයි විශ්වාස කල දේශපාලන නායකයින්ට එරෙහිව පොලීසිය සහ නීතිපති දෙපාර්තුමේන්තුව මෙහෙයවමින් දැවැන්ත මර්ධනයක් දියත් කරන ලද අතර ආණ්ඩුවට සමීප ජඩ මාධ්‍ය කල්ලි හරහා ව්‍යාජ, ද්වේශසහගත පුවත් මවමින් අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන ලදි.

එසේම ජනාධිපතිවරයාට හිතවත් පර්ශවයන් නඩු වලින් නිදොස් කොට නිදහස් කිරීම සදහා නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කල ආකාරයද මුලු රට ඉදිරියේම හෙළිදරව් වී ඇත. 20 වන සංශෝධනය මගින් අධිකරණයට සහ පොලීසියට තිබූ ස්වාධීනත්වයද සම්පූර්ණයෙන්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයා ක්‍රමිකව සිය දේශපාලන විරුද්ධවාදීන් රාජ්‍ය මර්ධනයකට ලක්කිරීමේ ඒකාධිපති ව්‍යාධියෙන් ආතුර වී තිබේ.

පසුගිය සමයේ කොරෝනා වසංගතයෙන් සිදුකල ජාවාරම් සහ කූප්‍රකට සීය හිතමිතුරු ව්‍යාපාරික කල්ලිය හරහා ඇන්ටිජන් කට්ටල වලින්, නිරෝධායනයෙන්, සීනි වලින් සහ නානාප්‍රකාර විධිවලින් මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරමින් තිබෙන බව රට හමුවේ හෙළිදරව් වීම නිසා ජනාධිපතිවරයාගේ වියරුව තව තවත් උත්සන්න වෙමින් තිබේ.

නයි දිෂ්ටි, මුට්ටි නැටුම් නටමින් මේ රටේ බහුතර ජනතාව රැවටීමට ලක්කල ආකාරය අදවන විට බුද්ධිමත්, ධර්මය දන්නා ජනතාව තේරුම් ගනිමින් සිටියි.

මේ ඒකාධිපති මනෝභාවයේ ගොදුරු බවට අද විපක්ෂයේ මන්ත්‍රීවරු ලක්වනවා සේම, නුදුරේදීම ආණ්ඩුවේම දේශපාලන නායකයින්ද ඒ වියරුවේ ගොදුරු බවට පත්වනු බව නොඅනුමානය.

එමනිසා මේ ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දේශපාලන බලවේග එක්විය යුතුව තිබේ.

අප හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් එල්ල කරන ලද චෝදනා වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහචරයන් විසින් දේශපාලනිකව පිළිතුරු ලබාදෙනු වෙනුවට, ඔහුට හෝ ඔහුගේ දරුවන්ගේ ජීවිත වලට හානිවන ආකාරයේ කවර හෝ ක්‍රියාවක නියැලුණහොත්, එය රාජපක්ෂ දේශපාලනය අදුරු අවසානයක් කරා ගෙනයනු ඇති බව මතක් කර දීමට කැමැත්තෙමි.

– පාඨලී චම්පික රණවක