Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගමේ ප්‍රශ්නවලට උත්තරත් අරන් අගමැතිත් ගමට බසී

පොල්පිතිගම, ඉරුදෙණියාය ප්‍රදේශයේ ජනතාව දශක කිහිපයක් තිස්සේ විසඳුම් නොලද ඉඩම් ගැටලුව ඇතුලු ජනතා ගැටලු රැසකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්වී විසඳුම් ලබා දුන්නේය. 

ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට ජාතික වැඩසටහනට අදාළව මකුලපොත, කට්ටම්බේරිය යාය ප්‍රාථමික විද්‍යාලයේ පැවති ජන හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මෙසේ ජනතාවගේ ගැටලු සඳහා ඒ මොහොතේම පිළිතුරු දෙමින් අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සලසා දීම විශේෂත්වයකි. 

මෙම ජනතාවගේ ගැටලු සඳහා අද දින ලබා දුන් පිළියම් ඉටුවනවාද යන්න ගැන සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුතු, වන ජීවී, වාරි මාර්ග, වන සංරක්ෂණ හා ඉඩම් යන අංශ නියෝජනය කරමින් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලෙස ද අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

වනජීවී ප්‍රදේශයක් ලෙස නම් කරමින් වර්ෂ 1989 දී මෙම ප්‍රදේශය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පවරා ගෙන ඇත. 

ජනතාවගේ කිසිඳු අනුදැනුමකින් තොරව ඔවුන්ගේ නිවාස හා වගාබිම් ද මෙම ගැසට් පත්‍රයට අදාළ භූමියට ඇතුළත්ව ඇති අතර, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවගේ වගා බිම් හා වගාවන් ද අහිමි වී ගොස් තිබේ. වසර 50 කට අධික කාලයක් පුරා පවතින මෙම ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය බව පැවසීය. 

එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව සඳහා නීත්‍යාණුකූලව එම ඉඩම් ලබාදීමේ මූලික අරමුණින් පැවති මෙම සාකච්ඡාව තුළදී ප්‍රදේශයේ ජනතාවගේ ඇති අනෙකුත් අවශේෂ ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය. 

ඉරුදෙණියාය සංවර්ධන කලාපයේ ඉඩම් ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට 2002 වර්ෂයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇති අතර, එහිදී 1989 වර්ෂයේ පවරා ගනු ලැබූ භූමියෙන් අක්කර 1980ක් පමණ නිදහස් කිරීමට එකඟ වී ඇත. 

ප්‍රදේශයේ පවතින අලි මිනිස් ගැටුමට නිසි පිළියමක් යොදමින් පසුව මෙම ඉඩම් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකඟ වී තිබේ. මේ වන විට එම ඉඩම් වල පදිංචිකරුවන් වගා කටයුතු කරනු ලැබුව ද නීත්‍යානුකූල අයිතියක් තවමත් ඔවුන්ට ලැබී නොමැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති. මේ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ් පිළිබඳව අවශ්‍ය නිසි පියවර කඩිනමින් ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එහිදී තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම ඉඩම් ලබාදීමට 2002 වර්ෂයේම එකඟ වී ඇති බව ප්‍රකාශ කළ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා,  කඩිනමින් ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවැසීය. එම ඉඩම් සඳහා නීත්‍යානුකූල ඔප්පු ලබාදීම මාස 03ක් වැනි කෙටි කාලයක් තුළ සිදු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. 

මෙම ප්‍රදේශයේ මතුව ඇති අලි මිනිස් ගැටුම පිළිබඳ අවධානය යොමු කරමින් අලින් මෙන්ම වන සතුන් සඳහා රක්ෂිතය තුළ ජලය තිබේනම් ඔවුන්ගෙන් වගාවන් හා ග්‍රාමීය ජනතාවට වන හානිය අවම කර ගත හැකි බව යෝජනා විය. එහිදී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ මූලිකත්වය යටතේ ලබන සඳුදා දින සිට රක්ෂිතය තුළ ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවට ප්‍රකාශ විය. 

මෙම ප්‍රදේශයේ මහා මාර්ග හා අතුරු මාර්ගයන් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම මාර්ග ඉදි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ගැටලු පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු වූ අතර එහිදී මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රදේශයේ සියලුම මාර්ග ප්‍රතිසංස්කරණ මෙන්ම ඉදි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, අන් සියලුම මාර්ග ද කඩිනමින් පිළිසකර කර දෙන බවත් පැවසීය. 

එමෙන්ම ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර, අන්තර්ජාල පහසුකම් යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රදේශය තුළ නොමැති බවත්, අවම පහසුකම වූ දුරකථන සම්බන්ධතා පහසුකම් සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බව ප්‍රදේශවාසීන් මෙන්ම, බඹරගල යාය ප්‍රාථමික පාසලේ දැරියක් ප්‍රකාශ කළාය. 

මේ පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ගමට සන්නිවේදනය ව්‍යපෘතිය යටතේ කඩිනමින් මෙම ප්‍රදේශට වැඩි අවධානයක් යොමු කරමින් සන්නිවේදන කුලුනු ඉදි කිරීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

එම කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කිරීමට බලධාරීන් එකඟතාව පළ කළේය. මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සන්නිවේදන කුලුනු 99 ක් ඉදි කෙරෙණු ඇත. 

ප්‍රදේශයේ ඇති පානීය ජල ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට විෂය භාර අමාත්‍ය සනත් නිශාන්ත මහතා එකඟතාව පළ කළේය. එසේම බඹරගල යායා ප්‍රාථමික විද්‍යාලයේ පවතින ගොඩනැගිලි අබලන්වීම, වැසිකිලි හා පාසලට මාර්ගයක් මෙන්ම ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය පැහැදිලි කළ කුඩා දැරියකගේ ගැටලු පිලිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒවා කඩිනමින් විසඳා දීමට එකඟතාව පළ කළේය. 

එහිදී පාසලේ මාර්ගය සකස් කිරීමට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරන බවත් ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟින් සාකච්ඡා කර විසඳුම් ලබාදීමටත් එකඟතාව පළ විය.

ලොතරැයි මණ්ඩලය මැදිහත්වී පාසලේ වැසිකිලි ප්‍රශ්නය විසඳා දීම සදහා අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කර ඇති බව සදහන් විය. ප්‍රදේශයේ තරුණයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව ප්‍රකාශ වූ අතර ඒ පිළිබඳ සොයා බලා එය මැඩලීමට කටයුතු කරන ලෙස කුරුණෑගල දිශාව භාර ‌ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය. 

එසේම අලි වැට ඉදි කිරීම, එය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායම් මඟින් වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කිරීමට නියමිතය. 

මේ වන විට අතරමඟ නැවතී ඇති මී ඔය ව්‍යාපාරයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු, වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීමේ ඇළ මාර්ගයන් ඉදි කිරීම යනාදිය ද කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 

එමෙන්ම සාකච්ඡා වූ මෙම සියලු කරුණු කාරණා පිළිබඳ සොයා බැලීම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් යුත්, වන ජීවී, වාරි මාර්ග, වන සංරක්ෂණ හා ඉඩම් යන අංශ නියෝජනය කරමින් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස මෙම හමුව අවසානයේ අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය. 

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සී.බී.රත්නායක, එස්.එම්.හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, අනුරාධ ජයරත්න, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, ජයරත්න හේරත්, සමන් ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, අසංක නවරත්න, මංජුලා දිසානායක, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.