Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හමුදාව..හමුදාව..හමුදාව..ගුරුවරුන් වෙනුවටත් හමුදාව – ගුරුසංගම් විරෝධයේ

රාජ්‍ය සේවයේ නිලතල සඳහා ත්‍රිවිධ හමුදා සෙබළුන් යෙදවීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රට තවදුරටත් මිලිටරිකරණයකට ගෙන යාමක් බවට අධ්‍යාපන වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

සිවිල් රාජකාරි සඳහා යුද සෙබළුන් පත් කිරීමෙන් රට මිලිටරිකරණය වීම නොවැලැක්විය හැකි බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පෙන්වා දෙන්නේ පත්වීම් නොලද ගුරුවරුන් දහස් ගණනක් සිටියදී කැබිතිගොල්ලෑව සහ වව්නියාව වැනි ප්‍රදේශ වල ඉගැන්වීම් කටයුතු සඳහා ගුවන් හමුදා භටයන් ගුරුවරුන් ලෙස යෙදවීමේ තීරණය වහා හකුලා ගැනීමට රජයට බල කර සිටින බවයි.

ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ “මෙය වර්තමාන රජය අමාත්‍යාංශ ලේකම් තනතුරුවලට, විවිධ රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් ලෙස හා කෝවිඩ් මර්දනය සඳහා යැයි පවසමින් දිස්ත්‍රික්ක 25 ට හමුදා නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙසයි.

සිවිල් පුද්ගලයන්ගේ රාජකාරි සඳහා හමුදා සාමාජිකයන් පත් කිරීම තුළ රට මිලිටරිකරණයක් වීම වැළක්විය නොහැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

ගුරු සේවයේ නිලධාරීන් පත් කිරීම වෙනුවෙන් ශ්‍රී  ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ බඳවා ගැනීම් පටිපාටියක් තිබියදී මේ ආකාරයෙන් හමුදා සාමාජිකයන් පත් කිරීම පිළිගත නොහැකි තත්වයක් බව ද පෙන්වාදෙන ජෝසප් ස්ටර්ලින් මහතා , ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇති බවද පවසනවා. 

ඒ අනුව ප්‍රථමයෙන්ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල් දරුවන්ට ඉහත විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදාව යෙදවීමට සැලසුම් කර තිබෙනවා.

සෙසු ප්‍රදේශවල දුෂ්කර පාසල් සඳහා ද ගුවන් හමුදා සාමාජිකයන් යොදවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසු බව ද ලංකා ගුරු සංගමය සදහන් කරනවා.

වර්තමානයේ ගුරු සිසු අනුපාතය 20:1 ක් ලෙස පැවතියදී අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ගුරු තුලනයක් නොකිරීම තුළ දුෂ්කර ප්‍රදේශවල ගුරු පුරප්පාඩු ඇති වී තිබෙන බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය, ගුරුවරු ස්ථාන ගත කිරීම සඳහා විධිමත් ප්‍රතිපත්තියක් නොමැති වීම ද දුෂ්කර ප්‍රදේශවල ගුරු හිඟයක් ඇතිවීමට හේතුව ලෙසයි සදහන්ලෙ කරන්සනේ.

ඔවුන් පෙන්වාදෙන පරිදී 2020 ජනවාරි වන විට පත්වීම් ලබාදිය යුතු වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක ගුරුවරුන් 3772 කට මේ දක්වා පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර නැහැ.

එසේ ගුරුවරුන් ලෙස පුහුණු කරන ලද පිරිසක් සිටියදී ඔවුන් අදාළ පුරප්පාඩු සඳහා පත් නොකර පවතින ගුරු පුරප්පාඩු සඳහා හමුදා සාමාජිකයන් පත් කිරීම ගැටලූකාරී තත්වයක් බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. 

එමෙන්ම පසුගිය වසරවල ද විද්‍යාපීඨ ශික්ෂණලාභින් ප්‍රධාන පෙළේ ජාතික පාසල්වලට අතිරික්ත වන පරිදි පත්කර තිබූ බවත්, දුෂ්කර ප්‍රදේශ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොතිබූ බවටත් චෝදනා කරන ලංකා ගුරු සංගමය, මේ තත්වය තුළ හමුදා සාමාජිකයන් ගුරුවරු ලෙස පත් කිරීම වෙනත් අරමුණකින් සිදුවන්නේ ද යන සැකයත් මතුකර තිබෙනවා.  

දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා විධිමත් පුහුණුව ලද ගුරුවරු පත් නොකොට ස්වේච්ඡා ගුරුවරුන් සහ හමුදා සාමාජිකයන් ඇතුළු විවිධ කොටස් පත් කිරීම තුළ එම ප්‍රදේශවල සිසුන්ට පුහුණු ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ලැබීමේ අයිතියද අහිමි කොට ඇති බවටත් ගුරු සංගම් ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චූදන කරනවා. 

මේ තත්වය තුළ කැබිතිගොල්ලෑව, වව්නියාව ඇතුළු දුෂ්කර ප්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුවන් හමුදා සාමාජිකයන් පත් කිරීමේ තීරණය නතර කර, එම පුරප්පාඩු සඳහා පුහුණු ගුරුවරු විධිමත් අයුරින් පත් කිරීමට කටයුතු කරන ලෙස ද ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. 

ගුවන් හමුදා භටයන් පාසල්වලට යෙදවීමේ ආණ්ඩුව තීරණය ප්‍රකාශයට පත් වුනේ ජනාධිපති, ගුවන් හමුදාපති හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු බලධාරීන් කැබිතිගොල්ලෑවේ පැවැත්වූ රාජ්‍ය සභාවකින් අනතුරුවයි.