Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැම්බියාවේ මාධ්‍යවේදීන්ට බලපෑම්.

පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය කථාව ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සැම්බියාවේ පොලිසිය විසින් එරට පෞද්ගලික රූපවාහිනී ආයතනයක මාධ්‍යවේදීන් දෙදෙනෙකු කැඳවා තිබේ.

ඩයමන්ඩ් ටෙලිවිෂන් ආයතනය පැවසුවේ එහි ප්‍රධාන විධායක කොස්ටා මුවන්සා සහ ප්‍රවෘත්ති ප්‍රධානී ජෝර්ජ් චොම්බා යන මහත්වරුන් අද පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී අදාළ අයවැය කතාව කියවීමට පැය කිහිපයකට පෙර එම කථාව ඔවුන්ගේ නාලිකාව හරහා විකාශය කෙරුණේ කෙසේදැයි දැන ගැනීමට බලධාරීන්ට අවශ්‍යය.

සාම්ප්‍රදායික ව, මුදල් අමාත්‍යංශය විසින් අයවැය කථාව කියවීමට පෙර විශේෂ විශ්ලේෂණයක් සඳහා මාධ්‍ය ආයතන වෙත තහනම් පිටපත් ලබා දෙයි. එහෙත් ඒවා ප්‍රසිද්ධියට පත් කිරීමට කිසිදු මාධ්‍යවේදියෙකුට අයිතියක් නැත.

මොවුන් දෙදෙනා පසුගිය සතියේ පොලිසිය ඉදිරියේ පෙනී සිටීමෙන් පසු ප්‍රශ්න කිරීමේ දෙවන වටය මෙය වනු ඇත. ඔවුන්ගේ සේවායෝජකයා පවසන පරිදි මේ වන විට ඒ දෙදෙනාගේ ජංගම දුරකථන සහ සමාගම සතු ලැප්ටොප් පරිගණකයක් ද රාජසන්තක කර ඇත.

දකුණු අප්‍රිකාවේ මාධ්‍ය ආයතනයක් වන “සැම්බියා චැප්ටර්”, ප්‍රාදේශීය මාධ්‍ය නිරීක්ෂණ කණ්ඩායම විසින් මෙම කැඳවීම මාධ්‍ය නිදහසට කරන ලද නිග්‍රහයක් වශයෙන් හෙළා දැක තිබේ.

මෙයට සති කිහිපයකට පෙර රජය විසින් පෞද්ගලික අයිතිය සහිත තැපැල් පුවත්පතක් සහ ප්‍රයිම් ටීවී නාලිකාව වසා දැමීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ ගෙල සිර කිරීම සම්බන්ධයෙන් සැම්බියාවේ පාලක පක්ෂයට බොහෝ චෝදනා එල්ල වී තිබේ. එනමුත් රජය පවසන්නේ තමන් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව යි.