Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාම සාකච්ඡා එපා

දැනට සතියක පමණ කාලයක් මුළුල්ලේ අර්මේනියාව හා අසර්බයිජානය අතර මාරාන්තික සටන් ඇවිළෙමින් පවතී. වැඩි වශයෙන් ම මෙම ගැටුම් සිදු වනුයේ දකුණු කොකේසස් ප්‍රදේශයේ ය. එනමුත් මේ වන විට අර්මේනියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙන්නේ අවශ්‍ය වුවහොත් ගැටුම් නවතාලීමට තම පාර්ශවය සූදානම් බව යි. 

යුද්ධය නැවැත්වීමේ අරමුණින් මෙම ගැටුමට මැදිහත් වී තිබෙන ප්‍රංශයේ, රුසියාවේ සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “අදාළ මිලිටරි හමුදා අතර සතුරුකම් වහා ම නතර කරන ලෙස” ය. එහෙත් මේ වන විට මතභේදයට තුඩු දී ඇති “නාගර්නෝ – කරබාක්” ප්‍රදේශය වටා සිදු වන ගැටුම් ඉරිදා දිනයේ දී බරපතල තත්ත්වයට පත් ව තිබේ. මෙම ස්ථානය නිළ වශයෙන් අසර්බයිජානයේ කොටසක් වන නමුත් අර්මේනියානු වර්ගවාදීන් විසින් පාලනය කරනු ලැබේ.

මෙයට පෙර ද 1988 සහ 1994 අතර කාල සීමාව තුළ දී මෙම රටවල් දෙක යුද්ධයක යෙදුණු අතර අවසානයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් ඔවුන් කිසි විටෙකත් අදාළ ආරවුල සම්බන්ධයෙන් විසඳුමකට පැමිණියේ නැත. නවතම තත්ත්වය අනුව අසර්බයිජානු හමුදාව කියා සිටියේ තමන් තවදුරටත් සටන් කිරීම නතර කිරීමට කැමැත්තෙන් සිටින නමුත් ආර්මේනියාව මෙයට දින දෙක තුනකට පෙර එරට සාමාන්‍ය ගම්මාන හතරකට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිවිල් වැසියන්ට හානි පැමිණ වූ බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් අර්මේනියාව පවසන්නේ “යෙරෙවන්” අගනුවර ආසන්නයේ පියාසර කරමින් තිබු සිය රටට අයත් ඩ්‍රෝන යානා හතකට අසර්බයිජාන හමුදාව විසින් වෙඩි තබා ඇති නමුත් අසර්බයිජානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. අර්මේනියාවේ විදේශ අමාත්‍යංශය සිකුරාදා කියා සිටියේ 1994 – 1995 ගිවිසුම් මත පදනම් ව සටන් විරාම පාලන තන්ත්‍රයක් නැවත ස්ථාපිත කිරීම සඳහා OSCE මින්ස්ක් සමූහයේ සම සභාපතිවරුන් තිදෙනා ද තමන් සමඟ සම්බන්ධ වීමට සූදානමින් සිටින බව ය.

කෙසේ වුවත් අසර්බයිජානයේ ජනාධිපති “ඉල්හැම් අලියෙව්” මේ වන විට සියලු සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ ප්‍රධාන සගයා වන තුර්කිය පවසා ඇත්තේ කල්පවත්නා සටන් විරාමයක් රඳා පවතින්නේ “අසර්බයිජානියානු භූමියේ සෑම ප්‍රදේශයකින් ම අර්මේනියානුවන් ඉවත් වීම” මත පමණක් ම බවයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි