Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආශ්චර්යයවත් ට්‍රම්ප්

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ කොවිඩ් 19 වසංගතයට ගොදුරු වූ බව අසන්නට ලැබිණි. හදිසියේ ම රෝහල්ගත කෙරුණු ඔහු හරියට ම දින තුනක් ඇතුළත සුවය ලබා තිබිණි. ඇතැමුන් පැවසුවේ ඔහු හරි හැටි සුව වීමටත් ප්‍රථම, බලයෙන් ටිකට් කපා ගෙන නිවසට ගිය බව යි. ගිය සැටියේ ම ඔහු මුඛ ආවරණය ද ගලවා දමා තිබිණි.

ජනතාවට අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක දී තමා සිය ඕවල් කාර්යාලයේ දී හමු විය හැකි බව ට්‍රම්ප් පවසයි. හෙට අනිද්දා දිනෙක ඔහු ධවල මන්දිරයේ දී අතිඋත්කර්ශවත් උත්සවයක් ද පැවැත්වීමට නියමිත ය. කොවිඩ් වෛරසයේ ආසාදිතයෙකු වීමෙන් පසු ඔහු සහභාගි වන ප්‍රථම නිළ උත්සවය මෙය යි. තමා තවදුරටත් කොවිඩ් වෛරසයට එරෙහි ව ඖෂධ ලබා නොගන්නා බව පවසන ජනාධිපතිවරයා, ධවල මන්දිරයේ ආලින්දයේ සිට දකුණු පැත්තේ රැස්ව සිටින ආධාරකරුවන් සිය ගණනකට දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙයි. ට්‍රම්ප් මහතා කොවිඩ් වෛරසය සඳහා ධනාත්මක බව හෙළි වී දැනට සතියක් ගත වී ඇත. ඔහු පැවසුවේ තමා සිය රෝගය පිළිබඳ සිදු කෙරුණු නව පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බවයි.

පැවැත්වීමට නියමිත උත්සවය සම්පූර්ණයෙන් ම අරමුණු කර ගන්නේ එළඹෙන ජනාධිපතිවරණ ඡන්දය යි. එහෙත් ට්‍රම්ප් මෙසේ දිගින් දිගට ම ධවල මන්දිරය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම බොහෝ පිරිසකගේ විවේචනයට ලක් විය. පසුගිය අගෝස්තු මාසයේ දී ඔහු තම පක්ෂ රැස්වීම පැවැත්වූයේ ද එහි දී ය. 

පූර්ව ඡන්ද විමසීම්වලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක “ජෝ බයිඩෙන්”, ට්‍රම්ප්ට වඩා මඳක් ඉදිරියෙන් සිටින අතර ඒ.බී.සී. ප්‍රවෘත්ති අංශයේ මත විමසුමකට අනුව ට්‍රම්ප් මහතා කොවිඩ් 19 වසංගත අර්බුදය හසුරුවා ඇති ආකාරය ඇමරිකානුවන්ගෙන් 35%ක් ම අනුමත කර තිබේ.

කෙසේ වෙතත් දහස් ගණන් මිය යන ඇමරිකාවේ, ට්‍රම්ප් පමණක් දින තුනකින් සුවය ලැබූවේ කෙලෙස ද යන වග තවමත් අභිරහසක් ව පවතී.