Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාමාන්‍ය පෙළ විභාගයට නඩු වැටෙන ලකුණු ? (Video)

මෙවර පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය නීති විරෝධී විය හැකි බව සමස්ත ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් සදහන් කරන්නේ නියමිත විෂය කරුණු ආවරණය නොකර සහ ප්‍රශ්න පත්‍රයේ නියමිත ආකෘතියෙන් පිට විභාගය පැවැත්වීමට නොහැකි බවයි.

පසුගිය මාර්තු මාසයේ සිට කොරෝනා හේතුවෙන් දිවයින පුර පාසල් විටින් විට වසා දැමුණු අතර මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ තත්වය තුළ අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදු කරන බව රජය පැවසුවද එම අවස්ථාවද බොහෝ සිසුන් පිරිසකට මග හැරී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම අඩුපාඩුව වසා ගෙන විභාගය නීතිවිරෝධී වීම වැළක්වීම සඳහා මාසයක කාලයක් සාමාන්‍ය පෙළ දරුවන් සදහා පාසල් විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඔවුන් මේ අදහස් පළකලේ උපකාරක පන්ති ගුරුවරුන් වර්තමානයේ මුහුණ දී ඇති ගැටළු සහ රටේ අද්‍යාපනය පිලිබඳ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡාවකට එක්වෙමින්.

සමස්ථ ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය නියෝජිතයන් පෙන්වා දී තිබෙන්නේ  වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් දහස් සංඛ්‍යාත  උපකාරක පන්ති ගුරුවරුන් සහ ඒ ආශ්‍රිත වක්‍ර රැකියා වල නිරත වූ පුද්ගලයින් රැසක්  මෙන්ම පවුල් දහස් ගණනක් ද මේ වන විට දැඩි අසරණභාවයට පත්ව ඇති බවයි.

මෙවැනි කාරණාවලදී  පිළිගත්  දුරදක්නා විසදුම් ලබාදීමට  වත්මන් රජය අපොහොසත් වී ඇති බව ඔවුන් පෙන්වා දී ඇති බව සඳහන්.

සමස්ථ ලංකා එක්සත් වෘත්තීය දේශකවරුන්ගේ සංගමය එක්සත් ජාතික පක්ෂය මෙරට අධ්‍යාපනයෙ උන්නතිය වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක් කළ බවද එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සදහන් කරනවා.

මීට සහභාගි වූ  කණ්ඩායම සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ  රුවන්  විජයවර්ධන මහතා  ඉදිරියේදී  උපකාරක පන්ති ගුරුවරුන්ගේ  ප්‍රශ්න වලට සංවේදී වෙමින් විසඳුම් ලබා දිය හැකි පරිදි  පුළුල් බලවේගයක් නිර්මාණය කිරීම සඳහා  සියලු පාර්ශව එක් කිරීමේ අවශ්‍යතාවය ද  අවධාරණය කර තිබෙනවා.

About The Author