2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ස්පාඤ්ඤ උණ

වසර 1918 – 1919 අතර කාලයේ ලොව පුරා පැතිර යමින් ජනගහණයෙන් තුනෙන් එකක් විනාශ කළ විශාලතම වසංගතය වූයේ ස්පාඤ්ඤ උණ හෙවත් එච්1එන්1 වෛරසය යි. මෙම වසංගතය ඒ නමින් හැඳින්වුව ද, එයට උපත දෙන ලද්දේ ස්පාඤ්ඤය නොවේ. සැබවින් ම කියතොත් වෛරසයේ මූලාරම්භය කොහේදැයි සොයා ගැනීමට අද වන තෙක් කිසිවෙකුටත් නොහැකි වී තිබේ. කිව හැකි එක ම කරුණ වන්නේ එය යුරෝපයෙ යම් කිසි ස්ථානයකින් ඇරඹුණු බව පමණි. කෙටියෙන් කියතොත් ස්පාඤ්ඤවරුන් ද සිතනුයේ වෛරසයට වග කිව යුත්තේ ප්‍රංශය බව යි. මෙය ස්පාඤ්ඤ උණ යනුවෙන් හැඳින්වීමට එක ම හේතුව වන්නේ අන් සියලු රටවල් වසංගතය පිළිබඳ ආරංචි හංගමින් සිටිය දී ස්පාඤ්ඤය පමණක් දිගට හරහට ඒ පිළිබඳ නවතම තත්ත්වය යාවත්කාලීන කිරීම ය.

1918 යනු පළමු ලෝක යුද්ධයෙන් සියලු රටවල් ඇළලී තිබූ වකවානුව යි. විශේෂයෙන් සොල්දාදුවෝ නැව් නැඟ ලොව පුරා සංචාරය කළ කාලය යි. එබැවින් කොහෙන් දෝ කෙසේ දෝ ආරම්භ වූ වසංගතය ඉතා ශීඝ්‍රයෙන් සියලු රටවලට ව්‍යාප්ත වූයේ සිතා ගත නොහැකි අන්දමිනි. මෙයට වඩාත් වගකිව යුතු වූයේ ලෝක යුද්ධයට සම්බන්ධ වූ භටයින් ය. ඔවුන්ගේ කඳවුරුවල අවශ්‍ය තරමින් සනීපාරක්ෂක පහසුකම් තිබුණේ නැත. එලෙස ම ඔවුන් ජීවත් වූයේ ද එකට ම ය. එහෙයින් වසංගතයෙන් බරපතල ලෙස පහර කෑමට සොල්දාදුවන්ට සිදු විය. තව ද සටන් කඳවුරුවල නොයෙකුත් අඩුලුහුඬුකම් සැපයීම සඳහා ලක්ෂ ගණනක කම්කරු පිරිස් ද යොදාගෙන තිබිණි. ඔවුන්ගේ කූඩාරම් තුළ තත්ත්වය සොල්දාදුවන්ට ද වඩා බරපතල විය. ගණනය කිරීම්වලට අනුව යුද්ධයෙන් මිය ගිය ගණනට වඩා වැඩි පිරිසක් වසංගතයෙන් මිය ගොස් ඇත. 

ලොව පුරා මිලියන 500ක් පමණ ආසාදිතයින් බවට පත් කළ ස්පාඤ්ඤ උණ වසංගතයෙන් මිලියන 70කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබේ. එයින් ලක්ෂ 7ක් පමණ ඇමරිකානුවන් වූ අතර මිලියන 18ක් ම ඉන්දියානුවෝ වූහ. ජපන් ජාතිකයින් ලක්ෂ 3ක් මිය ගිය අතර ඉන්දුනීසියාවේ එය මිලියන 2ක් විය. මිය ගිය පිරිසෙන් බොහෝමයක් වයස අවුරු 20ත් 40ත් අතර සිටීම කණගාටුවට කරුණක් විය. වෛරසය හේතුවෙන් ජනතාවගේ ආයු අපේක්ෂාව වසර දොළහකින් පමණ පසුපසට ගිය බව කියවේ. මාරාන්තික වෛරසය යුරෝපය, ඇමරිකාව, ආසියාව, අප්‍රිකාව ආදී සියලු රටවල් සිය ග්‍රහණයට ගැනීමට සමත් විය. වසංගතයෙන් බේරුණු එක ම ප්‍රදේශය වූයේ දකුණු ඇමරිකාවේ බ්‍රසීලයේ ඇමේසන් නදියට අයත් රාජ්‍යයක් වූ “මරායෝ” පමණකි.

රෝගය පැතිර ගියේ කැස්ස, කිඹුහුම් යෑම ආදී ක්‍රියාවලිනි. එයින් වඩාත් ආසාදනය වූයේ පෙණහල්ල යි. ප්‍රථමයෙන් උණ, වෙව්ලීම, හනදිපත් රුදාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර ශක්තිවන්තයෙකු නම් දින කිහිපයකින් සුවය ලැබීය. සැබවින් ම කියතොත් වෛරසයේ පළමු පුපුරා යාමේ දී මිය ගිය ගණන ඉතා අල්ප විය. මාරාන්තික අන්දමින් වෛරසය පැතිරෙන්නට වූයේ දෙවන ප්‍රහාරයේ දී, එනම් 1918 වසරේ අගෝස්තු – සැප්තැම්බර් අතර කාලයේ දී ය. එහි දී හදිසියේ රෝග ලක්ෂණ පහළ වූ අතර, පෙණහලු තුළ දියර පිරී, නිව්මෝනියා තත්ත්වය දක්වා පැමිණියේ ය. මිය යාමට ආසන්න වන විට දෙකනින් හා නාසයෙන් රුධිරය වහනය වූ අතර ඇතැමුන්ගේ සිරුර තැනින් තැන පුපුරා ලේ ගැලීය. පසුව දින කිහිපයකින් හෝ ඇතැම් විට පැය කිහිපයක් තුළ දී රෝගියා මිය ගියේ ය.

රෝගය පැතිරීමට මෙන් ම පාලනයෙන් තොර වීමට ද හේතුව වූයේ එය ඩෙංගු හෝ සාමාන්‍ය ඉන්ෆ්ලුඑන්සාවක් ලෙස හඳුනා ගැනීම ය. තව ද එකල දියත් කෙරුණු ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල දුර්වල භාවයත්, යුද්ධය නිසාවෙන් ම ජනතාව අතර පැතිර තිබූ මන්දපෝෂණය, මානසික ආතතිය, අධික විඩාව, රෝහල් මෙන් ම කඳවුරුවල තිබූ තදබදය ආදියත් රෝගය බරපතල වීමට හේතු වූ බව පෙනේ. ඇමරිකාව පිළිබඳ සලකන විට, සොල්දාදුවන්ගේ මරණවලින් වැඩි ප්‍රමාණයකට වග කිව යුතු වූයේ හමුදා ශල්‍ය වෛද්‍යවරයා ය. මන්දයත් රෝගය සඟවා සෙබළුන් සටනට යැවීම සඳහා ඔහු වැඩි වැඩියෙන් ඇස්ප්‍රීන් නිර්දේශ කර තිබූ හෙයිනි. බොහෝ ඇමරිකානු සොල්දාදුවන් හා යුධ කම්කරුවන් මිය ගොස් තිබුණේ ඇස්ප්‍රීන් විෂ වීමෙනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි