2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ෂෙරෝ වසංගතය.

වසංගත ඉතිහාසය තුළ වැඩි ප්‍රසිද්ධියක් නො ඉසිලූව ද “ෂෙරෝ වසංගතය” හේතුවෙන් ලොව පුරා සැලකිය යුතු පිරිසක් මිය ගොස් තිබේ. මෙය ජස්ටීනියානු වසංගතයට පසු පැමිණි බරපතල තත්ත්වයක් යැයි පැවසිය හැකි ය. ෂෙරෝ වසංගතය හේතුවෙන් මිලියන 20 -30ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වී තිබේ. ෂෙරෝ වසංගතය ඇති වීමට හේතුව කුමක් ද? යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත. මන්දයත් වසංගතය, කාලගුණය හෝ සතුන් හෝ කිසිදු මිනිස් ක්‍රියාවක් හෝ මඟින් බලපෑමට ලක් නොවූ හෙයිනි. මෙයට මුල් වූයේ බෝ වන බැක්ටීරියා රෝගයකි. 

ප්‍රථමයෙන් වැළඳුණේ උණ ය. ඇඟ කැක්කුම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ආරම්භ වූයේ ඉන් පසුව ය. තෙවනු ව ඉඟටිය, කකුල් සහ ආසාදිත පුද්ගලයාගේ කන් වටා බුබුළු මතු විය. පුදුමයකට මෙන් මෙම වසංගතය සුනඛයින්, බළලුන් සහ මීයන් වැනි වෙනත් සතුන්ට පවා පහර දුන්නේය. ඔක්කාරය හා වමනය, පාචනය, විජලනය, වසා ගැටිති ඉදිමීම ආදිය ද ආසාදිතයින් තුළ දක්නට ලැබිණි. මෙම ආසාදනය වර්ග තුනකින් හට ගත් බව කියවේ. එනම්, “බුබොනික්” (බුබුළු නැඟීම), “සෙප්ටෙක්සිමික්” (රුධිරයට ආසාදනය වීම) සහ “නියුමොනික්” (පෙනහළු ආසාදනය කිරීම) ය. කුමන වර්ගය වුවත් සියල්ල මාරාන්තික විය.

සමහර අවස්ථාවල දී මරණය ක්ෂණික ව සිදුවිය. සමහරුන්ගේ ශරීරවල පරිප්පු තරම් විශාල කළු පැල්ලම් සෑදී පුපුරා ගියේ ය. බොහෝ දෙනෙක් නිශ්චිත හේතුවක් නොමැති ව ලේ වමනය කළහ. එපමණක් නොව, ඉතා කීර්තිමත් වෛද්‍යවරුන් පවා අනාවැකි පළ කළේ ටික කලකට පසු සියලු දෙනාම පාහේ මිය යනු ඇති බව ය. මිය ගිය සියලු පුද්ගලයින් වෙනුවෙන් නිසි අවමංගල චාරිත්‍ර පැවැත්වීම අත්හැර දමුණු අතර මළවුන් හැකි ඉක්මනින් බැහැර කළ යුතුව තිබුණි. එසේ වුවද, මරණ සංඛ්‍යාව ඉහළ යත් ම, මළ සිරුරු නිවෙස්වලින් ඉවතට විසි කෙරුණු අතර ගොඩනැඟිලිවල බිත්තිවලට ඇල කොට තැබීම, පල්ලිවලට ගෙන ගොස් දැමීම, කුඹුරුවලට ඇදගෙන යාම ආදිය සිදු කෙරෙනු පෙනිණි. වීථිවල දී මියගිය අය එහි ම තබා තිබුණේ අනෙක් අය ඔවුන් අසලට යාමට බිය වූ නිසා ය. ඇළ දොළ හෝ වාරි මාර්ගවලට අත්හැර දමන ලද මළ සිරුරු ජලයට ආසාදනය වූ අතර එමඟින් රෝගය ගඟ පහළ දක්වා පැතිර ගියේය. දිරාපත් වූ සිරුරුවල දුර්ගන්ධය සහ මරණයට ඇති බිය නිසා ජනතාව එකිනෙකාගෙන් හැකිතාක් දුරස් වූහ. 

ක්‍රි.ව. 1347 දී වසංගතය නැගෙනහිර සිට බටහිරට ගමන් කළේ කළු මුහුදේ (නූතන “ෆියෝඩෝසියාව”) වරාය නගරයක් වන “කැෆා” (“කෆා”) සිට වරාය නගරයක් වන “ජෙනෝයිස්” හරහා යුරෝපය විනාශ කිරීමට ය. “ඛාන් ජානිබෙක්”ගේ අණ යටතේ “මොන්ගෝලියානු ගෝල්ඩන් හෝඩ්” විසින් කැෆා වටලනු ලැබීය. මොන්ගෝලියානු සොල්දාදුවන් වසංගතයෙන් මියයෑමට පටන් ගත් විට, ජානිබෙක් ඔවුන්ගේ මළ සිරුරු කැෆාහි බිත්ති මතට ඇද දමා වෙළඳ නැව් හරහා ඉතාලියට පලා ගියේ ය. පසුව ඔහු “මර්සෙයිල්ස්” සහ “වැලෙන්සියාව” යන නගරවල නතර වී එම ප්‍රදේශ ද ආක්‍රමණය කිරීමට උත්සාහ කළ හෙයින් වසංගතය යුරෝපය පුරා පැතිර ගියේය. ෂෙරෝ වසංගතය නගරයක් හෝ ගමක් ආක්‍රමණය කළ සෑම විටම එය හා එහි තදාසන්න ප්‍රදේශ සැතපුම් තුනක් තරම් දුරට වේගයෙන් ග්‍රහණය කර ගත් බව පෙනේ. එක් තැනක තදින් මුල් බැසගත් පසු සෙමින් සෙමෙන් ඉදිරියට ගමන් කිරීම වසංගතයේ ලක්ෂණය විය.

මෙය “ෂෙරෝ” නමින් හැඳින්වූයේ එවක ජීවත් වූ දෙ වන “ෂෙරෝ කවාඩ්” අධිරාජ්‍යයාගේ නම අනුව යමිනි. ඔහු තමාගේ ඒක් කුස උපන් සහෝදරයන්, අර්ධ සහෝදරයන් සහ සුළු සහෝදරයන් ආදී සියලු දෙනා ඝාතණය කළ අතර එම නිසා සිංහාසනයට අභියෝග කිරීමට අන් කිසිවෙකුට නොහැකි විය. පසුව ඔහු බයිසැන්තීන් සමඟ සාම සාකච්ඡා ආරම්භ කළ අතර දෙවන “කොස්රාවු” යුද්ධයේදී හානියට පත් හෝ විනාශ වූ බොහෝ නගර ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. කෙසේ වෙතත්, ක්‍රි.ව. 627 සිට කලාපය අතුගා දමමින් හට ගත් වසංගතය, ක්‍රි.ව. 628 අග භාගයේ දී ෂෙරෝ අධිරාජ්‍යයා ද බිලි ගත්තේ ය. 

මෙම වසංගතය පිළිබඳ නිශ්චිත තොරතුරු ලබා ගැනීමට අසීරු වී ඇත්තේ නිවැරදි වාර්තා සොයා ගැනීමට නොහැකි වීම නිසා ය. ෂෙරෝ වසංගතය පිළිබඳ වාර්තා කළ මොරොක්කෝ ජාතික සංචාරකයෙකු සහ ලේඛකයෙකු වූ “ඉබ්න් බටූටා”ගේ (ක්‍රි.ව. 1304-1368) කෘතිවල සඳහන් වන අන්දමටත් විද්වතුන් වන “අහමඩ් ෆස්ලයින්ජාඩ්” සහ “ෆරාජොල්ලා අහමඩි” පවසන පරිදිත්, නැගෙනහිරින් වසංගතය ඇති වූ ස්ථානය සහ කවදාද යන්න තීරණය කිරීමේ එක් දුෂ්කරතාවයක් වන්නේ අදාළ වාර්තා තුළ භාවිත වී ඇති පාරිභාෂිත වචන මාලාව යි. ඉතිහාසඥයෝ සාමාන්‍යයෙන් විශාල වශයෙන් පැතිරුණු  රෝගයක් ඇතිවීම සඳහා ‘වසංගතය’ යන වචනය භාවිතා කළහ. මුස්ලිම් ලේඛකයින් සාමාන්‍යයෙන් “වසංගතය” සඳහා “ටාඋන්” යන අරාබි වචනය භාවිතා කරන නමුත් මහාමාරිය විස්තර කරන විට මෙම යෙදුම අරාබි වචනයක් වන “වබා” සමඟ එකිනෙකට වෙනස් ලෙස භාවිතා වේ. වසංගතය ඇතිවූ ස්ථානය සහ කවදාද යන්න නිර්වචනය කිරීමේ තවත් දුෂ්කරතාවයක් නම්, ලියන්නෙකු තමන්ගේ නගරය හා අවට කලාපයෙන් ඔබ්බට ඇති ප්‍රදේශ නොසලකා හැරීමේ ප්‍රවණතාවයි. එහෙයින් වසංගයේ පැතිරීම හා නිශ්චිත මරණ සංඛ්‍යාව පිළිබඳ තතු ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විය. 

ක්‍රි.ව. 688-689 දී දින තුනක් තුළ “බාස්රා” නගරයේ දී පමණක් මිනිසුන් 200,000 ක් අහිමි වූ විට මෙසපොතේමියාව ද මීට ගොදුරු වූ බව පෙනී ගියේ ය. ක්‍රි.ව. 698-699 දී වසංගතය සිරියාව හරහා පැතිර ගිය අතර ක්‍රි.ව. 704-705 දී එය නැවත වයඹදිග මෙසපොතේමියාවට පැමිණියේය. ක්‍රි.ව. 749-750 දී පමණ හට ගත් වසංගතය සියවස පුරාම පැවතුණි. ක්‍රි.ව. 562-1486 අතර කාලය තුළ ඉරානය, ඉරාකය, සිරියාව, තුර්කිය, ලෙබනනය, ඊශ්‍රායලය, සවුදි අරාබිය සහ ඊජිප්තුව වැනි ප්‍රදේශ පුරා මිලියන ගණනක් ජීවිත බිලිගත් වසංගතය “ෂෙරෝ” විය. 

මෙය ක්‍රි.ව. 1486 දක්වා පැවතුණි. එහෙත් ඒ 1346ට වඩා ඉතා කුඩා පරිමාණයකිනි. ක්‍රි.ව. 18, 19, සහ 20 වන සියවස්වල මුල් භාගය දක්වා ම නැගෙනහිර දෙසින් වරින් වර මතු වූ “ෂෙරෝ”, පසු කලෙක දී සම්පූර්ණයෙන් පාලනය කරනු ලැබිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.