Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකාවේ වයස්ගත ම ජනාධිපතිවරු.

ජනාධිපති තනතුරක් දැරීම සඳහා සුදුසු ම වයස කුමක් ද? මේ පිළිබඳ බොහෝ රටවල දේශපාලනඥයින් විසින් නොයෙක් ආකාරයේ තර්ක විතර්ක ගෙනැවිත් තිබේ. “Too young to run” ග්‍රන්ථයේ කර්තෘ, “පොමොනා” විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යය “ජෝන් සීරි” මහතා පවසන පරිදි “වයස 21 දී යමෙකු වගකීම් දැරීමට සුදුසු වැඩිහිටියෙකු ලෙස සැලකුණ ද, එම වයසේ දී යමෙක් නිවැරදි ලෙස දේශපාලනය කියවා ගැනීමටත් මහජනයා කෙරෙහි බලපෑම් කිරීමටත් නොහැකි තරමට වැරදි සිතිවිලිවලින් ගහණ වූ මනසක් සහිත පුද්ගලයෙක් වෙයි.” එබැවින් එතුමාට අනුව 21 යනු ජනාධිපති ධූරය දැරීමට සුදුසු වයස නොවේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය අනුව, එම ධූරය දැරීම සඳහා අපේක්ෂකයෙකු අනිවාර්යයෙන් වයස 35 සම්පූර්ණ කොට තිබිය යුතු ය. එනමුත් අදාළ නීතියේ හිඩැස වන්නේ මෙම තනතුර දැරීම සඳහා උපරිම වයසක් නම් කොට නොතිබීම යි. එබැවින් හැත්තෑව දශකයේ පසුවන අපේක්ෂකයින් වුව ද ඇමරිකාවේ ජනාධිපති ධූරයට පත් වූ අවස්ථා කිහිපයක් ම තිබිණි. 

ඇමරිකානු ව්‍යවසාය ආයතනයේ උපායමාර්ගික අධ්‍යයනයන්හි නේවාසික විශාරදයෙකු වන “ගැරී ජේ. ෂ්මිට්” මහතා පවසන පරිදි අප ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ දී ඔහුගේ හෝ ඇයගේ වයස්ගතබව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු වන්නේ ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙනි. පළමු කරුණ නම් මෙය රටේ ප්‍රධාන තනතුර වන බැවින් එවැන්නෙකු හට දැඩි පීඩනයක් හා ප්‍රශ්නකාරී තත්ත්වයන් මධ්‍යයේ මනස සැහැල්ලු කොට ගෙන ක්‍රියා කළ හැකි ද? යන ගැටලුව පැන නැගීම යි. දෙ වන හා වඩාත් බරපතල ප්‍රශ්නය වන්නේ එවැනි වයස්ගත පුද්ගලයෙකු හදිසියේ මිය ගියහොත්, ඔහු වෙනුවට ජනතාව කිසිසේත් කැමැති නොවූ ද, ඡන්දය ලබා නොදුන්නා වූ ද පුද්ගලයෙකු ජනාධිපති ධූරයට පත් වීම යි. නිදසුනක් වශයෙන් “ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්” මිය යන විට උප ජනාධිපතිවරයා බවට පත් ව සිටි “හැරී ටෲමන්” නිතරඟයෙන් ම ජනාධිපති තනතුරට පත් විය. එහෙත් ඒ වෙනුවට ජනතාව වඩාත් කැමැති වූ “හෙන්රි ඒ. වොලස්” පත් විණි නම් ඇමරිකාවේ ඉතිහාසය ද මෙයට වඩා වෙනස් ආකාරයට ලියවීමට ඉඩ තිබිණි. 

1. ඇන්ඩෲ ජැක්සන්.

1767 මාර්තු 15 වන දින උපත ලැබූ 7 වන ජනාධිපතිවරයා, 1837 මාර්තු මාසයේ දී සිය දෙවන ධුර කාලය සම්පූර්ණ කරන විට ඔහුගේ වයස අවුරුදු 69යි දින 354 ක් විය. පෙර සිටි සියලු ජනාධිපතිවරුන්ට වඩා බොහෝ සෙයින් රළු ජීවිතයක් ගත කළා යැයි සැලකෙන ජැක්සන්, ඕනෑ ම ආකාරයක අභියෝගයක් භාර ගැනීමට සූදානම් ව සිටි බව සත්‍යයකි. එහෙත් ඔහු කලක පටන් විවිධ රෝගාබාධවලින් පෙළුණෙකු බව කියවේ.

ඔහුගේ හිසකෙස් සාම්පලවලින් හෙළි වන්නේ පෙර පැවැති යුද්ධයේ දී ඔහුට වැදුණු උණ්ඩවලින් සෑදුණු තුවාලවලට ඇතුළු වී තිබූ ඊයම් හේතුවෙන් ලේ විෂ වීමක් සිදු ව තිබූ බවයි. 1810 ගණන්වල ඉන්දියානුවන් සමඟ සටන් කරන අතරතුර ජැක්සන්, තමාට ආසාදනය වූ නිදන්ගත පාචන රෝගය හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් ව දුක් විඳ ඇත. ඔහුගේ දුම් පානය කිරීමේ පුරුද්ද නවතා ගත නොහැකි වීම හේතුවෙන් බොහෝ සෞඛ්‍යමය ගැටලුවලට මුහුණ දීමට සිදු ව තිබුණු අතර, ජැක්සන්ගේ චරිතාපදානය ලියූ “ෂෝන් විලෙන්ට්ස්”ට අනුව, ජැක්සන් ඔහුගේ ජනාධිපති ධූර කාල දෙක ඇතුළත කිහිප විටක් ම අතිශයින් බරපතල ලෙස රෝගාතුර වී තිබේ. 

ධවල මන්දිරයෙන් එළියට බැස ගොස් “ටෙනිසි” ප්‍රදේශයේ පිහිටා තිබූ ඔහුට අයත් “හර්මිටේජ්” වතු යායේ ගස් අතරේ ඇවිදිමින් සැහැල්ලුවෙන් ජීවත් වූ කාලය තුළ දී ද හිටපු ජනාධිපතිවරයා අන්ධභාවය, නින්ද නොයාම, හිසෙහි පැත්තකින් නැඟෙන දරුණු වේදනාවන් සහ නිදන්ගත කැස්සකින් පවා පීඩා විඳ තිබේ.

2. ජේමිස් බුකනන්.

1791 වසරේ උපත ලැබූ 15 වන ජනාධිපතිවරයාගේ ධුර කාලය 1861 මාර්තු මාසයේ දී අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 69 යි දින 315 ක් විය. බුකනන්, රාත්තල් 50ක බරකින් යුක්ත වූ අතර 1857 දී ඔහු බලයට පත් වන විට ඔහුගේ හිසකෙස් පවා සුදු වී තිබුණි. බුකනන්ගේ චරිතාපදානය ලියූ “ජීන් එච්. බේකර්” පවසන පරිදි රැකියාවේ පීඩනය දරා ගත නොහැකි වීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍යය වඩාත් වේගයෙන් පිරිහී ගියේය.

බුකනන් තමා දුන් නියෝග මතක තබා ගැනීමේ අපහසුතාවකින් පෙළී ඇති අතර, දින කිහිපයකින් ම ඇඳෙන් නැගිටීමට නොහැකි තරමට ශාරීරිකව හා මානසික ව ඇද වැටී ඇත. උපදේශකයින් ඔහු හමුවීම පිණිස ධවල මන්දිරයේ පිහිටි ඔහුගේ උඩු මහල් පුස්තකාලයට පැමිණ තිබේ. එහි දී බුකනන් යම් යම් උපදෙස් ලබා දී තිබුණ ද ඔහු අත වෙව්ලීමේ රෝගයකින් ද පීඩා විඳි බව කියවේ. බුකනන් හට විඳින්නට සිදු වූ සෞඛ්‍යමය ගැටලු පිළිබඳ සිහි කළ විට ඔහු තනතුරට පත් ව සිටි එක ම එක ධූර කාලය ඇතුළත ඇති වූ වහල් සේවක ගැටලුවත් ඊට සමගාමී ව ඇති වූ සිවිල් යුද්ධයත් මැඬ පැවැත්වීමට හැකියාවක් නොලැබී යාම පුදුමයට කරුණක් නොවන බව පෙනේ. 

3. හැරී එස්. ටෲමන්.

1953 ජනවාරි මාසයේ දී සිය ධූරයෙන් නික්ම යන විට 33 වන ජනාධිපතිවරයා වූ “හැරී ටෲමන්”ගේ වයස අවුරුදු 68යි දින 257ක් විය. ඔහු එම තනතුරට පත් වූයේ ව්‍යවස්ථානුකූල ව ඔහුට පෙර ජනාධිපතිවරයා ව සිටි ෆ්‍රැන්ක්ලීන් ඩී. රූස්වෙල්ට්ගේ මරණයෙන් පසු ය. හැම විට ම ශාරීරික ව්‍යායාමවල නිරත වූ හිටපු හමුදා නිළධාරීවරයා, ඔහුට වයස අවුරුදු හැට ගණන්වල දීත් මිනිත්තුවකට අඩි 120 ගණනේ තබමින් දිනකට මයිල 1.5ක් ගමනේ යෙදුණේ ය. ඒ, ඔහු ඇමරිකානු හමුදාවේ සිටිය දී පුහුණු වූ සැටි ය.

“ඔහු හොඳ හැඩයක් පවත්වාගෙන ගියා.” 2016 දී ධවල මන්දිරයේ ඓතිහාසික සංගමයේ ඉතිහාසඥයෙකු හා සඟරා සංස්කාරකවරයකු වන “විලියම් සීල්” සී. එන්.එන්. වෙත පැවසුවේ ය. එහෙත් පසු කලක දී ඇති වූ කොරියානු යුද්ධය සහ සුළු අසනීප තත්ත්වයන් නොසලකා හරිමින් දිනකට පැය 18ක් පමණ එක දිගට වැඩ කිරීමේ පුරුද්ද හේතුවෙන් ටෲමන්ගේ සෞඛ්‍යය ශීඝ්‍රයෙන් පිරීහී ගියේ ය. 1952 ග්‍රීෂ්ම ඍතුවේ දී ඔහු බොහෝ සෙයින් රෝගාතුර වූ අතර, රෝහල්ගත කිරීමට ද සිදු විය. වෛද්‍යවරුන් සොයා ගත්තේ ඔහු විවිධාකාරයේ රෝගාබාධ තුනකින් පෙළෙන බව යි. කෙසේ වුවත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම තත්ත්වය ජනතාවගෙන් වසන් කළහ. ඒ, රටෙහි නායකයා දුර්වල බව දැන ගත් විට ඇති විය හැකි දේශපාලනික අනතුරුවලින් වැළකීම පිණිස ය.

4. වයිට් අයිසන්හවර්.

1961 වසරේ ජනවාරි මාසයේ දී ධවල මන්දිරයෙන් එළියට බසින විට ඇමරිකා එක්සත් ජනපදයේ 34 වන ජනාධිපතිවරයා වූ “වයිට් අයිසන්හවර්”ගේ වයස අවුරුදු 70යි දින 98ක් විය. ඔහු දෙ වන මහා ලෝක යුද්ධයේ දී මිත්‍ර හමුදාවේ ඉහළතම නිළයක් හෙබවූ තරු පහක් ලද නිළධාරියෙකු විය. නිරන්තරයෙන් ශාරීරික ව්‍යායාමවල නිරත වූ ඔහුගේ බර මෙම වසර ගණනාවට ම වැඩි වී තිබුණේ ද රාත්තල් හතකින් පමණි. එහෙත් හැම විට ම අයිසන්හවර් අතිශයින් නීරෝගී පුද්ගලයෙකු නොවී ය.

1955 වසරේ දී “ඩෙන්වර්” ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටි අයිසන්හවර් පපුවේ වේදනාවකින් අවදි විය. මුල දී, ඔහුගේ වෛද්‍යවරයාට ඔහුගේ තත්වයෙහි බරපතලකම අවබෝධ නොවූ අතර, අසල පිහිටි හමුදා රෝහලකින් ගෙන්වා ගනු ලැබූ හෘද රෝග විශේෂඥයෙකු මාර්ගයෙන් ඔහුට විද්‍යුත් හෘද රෝග විනිශ්චයක් ලබා දීම සඳහා පැය ගණනක් ගත විය. අවාසනාවකට මෙන් අදාළ පරීක්ෂණයේ දී හෙළි වූයේ එවකට 64 හැවිරිදි ජනාධිපතිවරයා බරපතල හෘදයාබාධයකින් විශාල වශයෙන් පීඩා විඳිමින් සිටි බවයි. ඔහුට සති හයක් මුළුල්ලේ රෝහල්ගත ව සිටිමින් ප්‍රතිකාර ලැබීමට සිදු විය. එහෙත් මෙම කාරණාව ඔහුගේ දේශපාලන ජීවිතයේ කඩා වැටීමකට නොව නැඟීමකට හේතු විය. එබැවින් කිසිදු බාධාවකින් තොර ව තවත් වසර 7ක් සිය ධූරයේ බැබළීමට අයිසන්හවර්ට හැකි විය.

5.රොනල්ඩ් රේගන්.

1989 වසරේ ජනවාරි මස දී දෙ වන වරට ජනාධිපති ධූරයට පත් වන විට රොනල්ඩ් රේගන්ගේ වයස අවුරුදු 77යි, දින 349ක් විය. 1980 වසරේ දී ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන විට ඔහුගේ ඡන්ද පොරොන්දු අතරින් එකක් වූයේ, ධවල මන්දිර වෛද්‍යවරයා පවසන ඕනෑ ම විටෙක දී, සිය ධූරය හැර දමා යාමට ඔහු සූදානම් බව යි. 1911 දී උපත ලැබූ රේගන්ට එකල ද වයස අවුරුදු 69ක් පමණ වූ හෙයින් ඔහුගේ වයස්ගත භාවය විරුද්ධ පාක්ෂිකයින්ට බලවත් ආයුධයක් බවට පත් ව තිබිණි. එහෙත් ඔහු දිගින් දිගට ම ඔප්පු කිරීමට උත්සාහ කළේ තමාට මෙම තනතුර දැරීම සඳහා ඇති තරම් ශක්තිමත් මනසක් තිබෙන බව යි. එහෙයින් ඔහු ජනතාවට පොරොන්දු වූයේ සෑම මසකට වරක් ම ධවල මන්දිරයේ වෛද්‍යවරයා ලවා තමා පරීක්ෂා කරවා ගන්නා බවටත්, කිසියම් මොහොතක එම වෛද්‍යවරයා විසින් රේගන්ගේ මානසික තත්ත්වය හෝ ශාරීරික යෝග්‍යතාව අයහපත් බව පැවසුවහොත්, වහාම සිය පුටුව උප ජනාධිපතිවරයාට භාර දී පිට ව යන බවටත් ය. 

ප්‍රථම වරට ජනාධිපති තනතුරට පත් වීමෙන් පසු රේගන් කිහිප විටක් ම මරණයෙන් බේරිණි. එක් වරෙක දී, එනම් 1981 දී ඔහු ඝාතණය කිරීම සඳහා ප්‍රයත්නයක් දියත් කෙරිණි. තවත් වරෙක, ඔහුගේ මහා අන්ත්‍රය තුළ පිළිකාවක් වර්ධනය වී ඇති බව සොයා ගැනුණු අතර 1985 වසරේ දී එය ඉවත් කිරීම සඳහා සිදු කෙරුණු අන්තරාදායක ශල්‍යකර්මයකින් ද රේගන්ගෙ දිවි ගැලවිණි. තමා යහපත් ශරීර සෞඛ්‍යයකින් පසු වන බව ජනතාවට ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඔහුගේ වේලාවෙන් වැඩි කාලයක් වැය වූ බව පෙනේ. රේගන් සෑම දිනෙක ම බර ඉසිලීමේ ව්‍යායාමවල යෙදුණු අතර, පුරුද්දක් වශයෙන් අසු පිට යාම ද කළේ ය. මේ සියල්ල මාධ්‍ය ඔස්සේ වාර්තා විණි. 

එපමණක් නොව ඔහු, තමා වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකු බව පෙන්වීමට බොහෝ විට උත්සාහ ගත් අතර, සිය විරුද්ධවාදීන් පරාජයට පත් කිරීම සඳහා ඔවුන්ගේ වයසින් අඩු බව ප්‍රයෝජනයට ගත්තේ ය. 1984 වසරේ දී පමණ කෙරුණු විවාදයක් අතරතුර දී විරුද්ධ පිළෙහි ප්‍රතිවාදියා මැඬලමින් රේගන් ප්‍රකාශ කළේ ” දේශපාලන අරමුණු සඳහා, මගේ ප්‍රතිවාදියාගේ තරුණභාවය සහ අත්දැකීම් අඩුකම සූරාකෑමට මා උත්සාහ කරන්නේ නැත” යනුවෙනි. 

6. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්.

1924 දී උපන් ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා, 1993 දී සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා විට වයස අවුරුදු 68කුත් දින 220ක් විය. මධ්‍යම බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සහ උපසභාපති ලෙසත් වසර අටකට නොඅඩු දීර්ඝ කාලීන වෘත්තිකයෙකු ව සේවය කිරීමෙන් පසු ඔහු ජනාධිපතිවරයා ලෙස “ඕවල්” කාර්යාලයට පැමිණි අතර එකල දී වත් බුෂ්ගේ ශරීර සෞඛ්‍යයේ කිසිදු අඩුපාඩුවක් පෙනුණේ නැත. සිය ජීවිත කාලය පුරා ම ව්‍යායාම කළ හිටපු “යේල්” විශ්ව විද්‍යාලයීය බේස්බෝල් තරුව, සිය ජීවිතයේ හැට ගණන්වල දී පවා නොසැලී සිටීමට සමත් විය. 

ධවල මන්දිරයේ හිටපු වාර්තාකරුවෙකු වන “කෙවින් මරීඩා” පසු කාලයක දී ක්‍රීඩා වෙබ් අඩවියක් වන “ද අන්ඩීෆීටඩ්”හි ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් යනු කිසිදා දුර්වල බවක් නොපෙන්වන ලද ධාවන ශූරයෙකු බව කීවේ ය. ඔහු සිය තනතුර හොබවද්දී පවා වරින් වර වාර්තාකරුවන් ගෙන්වා ගනිමින් සිය වේගය සටහන් කරවා ගත් බව කියවේ. එහෙත් අධික වෙහෙස බුෂ්ගේ මානසිකත්වය දුර්වල කළේ ය. වරක් 1992 දී පමණ ඔහු සහභාගී වූ විවාදයක දී හදිසියේ ම බුෂ් සිය අත් ඔරලෝසුවෙන් වෙලාව පරීක්ෂා කර තිබේ. එහෙත් ඉන් ඔහු මදක් සසල වූ අතර එම තත්පරයෙන් අනතුරුව ප්‍රේක්ෂකාගරයෙන් නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දීමට පවා බුෂ් අපොහොසත් වී තිබේ. 

ඊළඟ වාරයේ දී මැතිවරණයෙන් පරාජයට පත් වුව ද සීතල යුද්ධයේ අවසානය සාර්ථක ව හැසිරවීම ඇතුළුව ජනාධිපති වශයෙන් ඔහු ලබා ඇති ජයග්‍රහණ ඉතිහාසඥයින්ගේ අගය කිරීමට ලක් ව ඇත.

7. ඩොනල්ඩ් ට්‍රම්ප්.

1946 වසරේ උපත ලද ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාලයේ පිහිටෙන් හිලරි ක්ලින්ටන් පරාජය කොට 2017 ජනවාරි මාසයේ දී ජනාධිපති ධූරයට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 70ක් විය. ඔහුගේ ධූර කාලය අවසන් වීමට නියමිත ව ඇත්තේ 2021 ජනවාරියේ දී ය. ඒ වන විට ඔහු පසු වනු ඇත්තේ අවුරුදු 74යි දින 200ක වයසක ය. 

දිනකට මිනිත්තු විස්සක්වත් ව්‍යායාම කළ යුතු බව වෛද්‍ය නිර්දේශය යි. එහෙත් ගොල්ෆ් ක්‍රීඩාව හැර වෙනත් ව්‍යායාම කිරීම ශරීරයට අහිතකර යැයි විශ්වාස කරන ට්‍රම්ප්, බර ඉසිලීම්, දිවීම් හා එවැනි සියලු ව්‍යායාම කිරීමෙන් වැළකී සිටින බවට වාර්තා වේ. එසේ ම ඔහු රාත්‍රියට නිදා ගන්නේ ද පැය හතරක් හෝ පහක් පමණකි. මෑතක දී ප්‍රචාරය කෙරුණු සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ජනාධිපතිවරයා උදම් ඇනුවේ පසුගිය දිනෙක සහභාගී වූ මතකය සම්බන්ධ පරීක්ෂණයක දී තමාට පස් වන මට්ටම දක්වා යාමට හැකියාව ලැබුණු බව යි. 

ජනාධිපති වීමේ ආතතිය පුද්ගලයෙකුගේ වයසට යාම වේගවත් කරන බව පොදු විශ්වාසයකි. එනමුත් චිකාගෝ හි “ඉලිනොයිස්” විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ මහාචාර්යයවරයෙකු වන “එස්. ජේ. ඔල්ෂාන්ස්කි” විසින් 2011 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ එක්සත් ජනපද ජනාධිපතිවරු (අවම වශයෙන් ඝාතකයින් විසින් ඝාතණය නොකෙරුණු අය) ඇත්ත වශයෙන් ම කිවහොත් ඔවුන්ගේ සමකාලීනයන් වූ වෙනත් ඇමරිකානු පිරිමින්ට වඩා දිගු කාලයක් ජීවත් වීමට වාසනාවන්ත වී ඇති බවයි.  මේ වන විට මෙම ලයිස්තුවට අලුතින් පත් වූ ජෝ බයිඩන් ද ඇතුළත් වී තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.