Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනිමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව, මාස 9 ක සහන කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

About The Author