Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2020 මුල් මාස 08 දී දේශීය ඛනිජ තෙල් අලෙවිය 21.7%කින් පහළට. භූමිතෙල් හා ගෑස් පරිභෝජනයත් අඩුවෙයි

2020 මාර්තු මස අග භාගයේ සිට ආර්ථික හා සමාජ කටයුතු සඳහා සීමා පැනවීම හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම්වල ඇති වූ පසුබෑම පෙන්නුම් කරමින්, 2020 අගෝස්තු මාසයෙන් අවසන් වන මාස 08 තුළ දී ආර්ථිකයේ සියලු අංශ සඳහා දේශීය ඛනිජ තෙල් අලෙවිය පහළ යෑමක් පෙන්නුම් කළේය.

ඒ අනුව සලකා බලනු ලබන කාලපරිච්ඡේදය තුළ දී ලං.ඛ.නී.සං. සහ ඉන්දියානු තෙල් සමාගම යන දෙකෙහිම අලෙවියේ පසුබෑමක් වාර්තා කරමින් 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දේශීය වෙළෙඳපොළේ සමස්ත දේශීය ඛනිජ තෙල් අලෙවිය සියයට 21.7ක පසුබෑමක් පෙන්නුම් කළේය. මෙම කාලය තුළ දී ලං.ඛ.නී.සං. හි සහ ඉන්දියානු තෙල් සමාගමෙහි දේශීය අලෙවිය පිළිවෙලින්, සියයට 18.5කින් සහ සියයට 46.3කින් පහළ ගියේය.

විශේෂයෙන්ම කොවිඩ්-19 ආශ්‍රිතව සංචරණ සීමා පැනවීම නිසා ප්‍රවාහන ක්‍රියාකාරකම්වලට ඇති වූ බලපෑම පිළිබිඹු කරමින්, 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ දී ලං.ඛ.නී.සං. විසින් ප්‍රවාහන අංශය වෙත සිදුකළ අලෙවිය සියයට 15.6කින් පහළ ගියේය. 2020 අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස 08 තුළ දී පෙට්‍රල් සහ ඩීසල් අලෙවිය පිළිවෙලින්, සියයට 13.2කින් සහ සියයට 15.6කින් අඩු වීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් අප්‍රේල් අග භාගයේ සිට සංචරණ සීමා ක්‍රමයෙන් ඉවත් කිරීමත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් අලෙවිය යථා තත්ත්වයට පත්වීමක් දක්නට ලැබුණු අතර 2020 අගෝස්තු මාසය වන විට අලෙවිය වසංගතයට පෙර පැවති තත්ත්වයට ළඟා විය. අදාළ කාලය තුළ දී තාප විදුලි උත්පාදනය සඳහා දැවි තෙල් අලෙවිය සියයට 0.5කින් පමණ සුළු වශයෙන් පහළ ගිය අතර, ජල විදුලිබල උත්පාදනයේ දායකත්වය ඉහළ යෑමත් සමඟ විදුලිබල උත්පාදනය සඳහා ඩීසල් අලෙවිය සියයට 58.0 කින් සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගියේය.

තවද කාර්මික කටයුතුවලට එල්වූ බාධා මධ්‍යයේ 2020 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ කාර්මික අංශය සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවිය ද සියයට 4.7කින් පහළ ගියේය. ඒ අනුව, සලකා බලු ලබන කාලය තුළ කාර්මික අංශය සඳහා භූමිතෙල් අලෙවිය සියයට 43.6කින් පහළ ගිය අතර දැවිතෙල් අලෙවිය සියයට 4.9කින් ඉහළ ගියේය.

2020 අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ දී ගෘහස්ථ අංශයේ භූමිතෙල් සහ ද්‍රවිකෘත පෙට්‍රොලියම් වායු පරිභෝජනය පිළිවෙලින් සියයට 14.5කින් සහ සියයට 15.9කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ වාර්තාවහෙි මේ බව සඳහන් වේ.