Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විශාකා විදුහල්පතිවරිය වරද පිළිගනී – අමාත්‍යංශ නියෝගයට පිටු පෑ බව පිළිගනිමින් මාධ්‍ය නිවේදනයකුත් එවලා

ලංකා ගුරු සංගමය විසින් හෙළි කල පරිදී පාසලට වැඩ භාරගැනීම සඳහා පැමිණි ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව කොළඹ විශාඛා විදුහලේ විදුහල්පති සඳමාලි අවිරුප්පොල මහත්මිය සදහන් කරනවා.

විදුහල්පතිවරිය මේ බව ප්‍රකාශ කරන්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළවූ වාර්තා වලට ප්‍රතිචාර දක්වමින්.

එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ මෙසේද සඳහන් වේ.

‘‘මෙම ගුරුවරයාට අප පාසලට මාරුවීමක් ලැබී ඇති බව දැන ගත් අවස්ථාවේදී මා විසින් එම ගුරුවරයා පිළිබඳ විස්තර සොයාගෙන එම විස්තරවලට අනුව මෙම ගුරුවරයා පාසලට නොගැළපෙන අයෙක් බව දැනගෙන සැප්තැම්බර් 28 වැනිදා එම ගුරුවරයාට මෙම පාසලට මාරුවීමක් ලබා නොදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

මාගේ ඉල්ලීම සාධාරණ බව දන්වා ලේකම්වරයා විසින් මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු නොකර වෙනත් පාසලකට ස්ථාන මාරුව ලබා දෙන ලෙස දන්වා දුන් ලිඛිත ඉල්ලීමට සටහනක් යොදන ලදී.

නමුත් ලේකම්වරයාගේ නියෝගය නොසලකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරිය විසින් මෙම ස්ථාන මාරුවීම ක්‍රියාත්මක කර ඇත.

ජනවාරි 04 වැනිදා මෙම ගුරුවරයා බුලත් හුරුල්ලක් ලබාදී රාජකාරි බාරගැනීම සඳහා මාගේ කාර්යාලයට පැමිණියේය. එහිදී එම ගුරුවරයාට අසුන් ගැනීමට අවස්ථාව මා ලබාදුන් අතර, එම ගුරුවරයාට මෙම පාසලේ රාජකාරි භාරදිය නොහැකි බව දන්වන ලදී.

අදාළ ගුරුවරයා පවසන ආකාරයට මා විසින් කිසිදු අවස්ථාවක එම ගුරුවරයාට ලිපියකින් දමා නොගැසූ බව මා ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන අතර, වැඩ භාර දීම‌ට නොහැකි බව ප්‍රකාශ කළ අවස්ථාවේදී එම ගුරුවරයා මාගේ මේසයට තදින් පහර ගසමින් ‘අද වැඩ බාර දුන්නේ නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැතැ’ යි පවසමින් ඝෝෂා කරන්නට විය. ඉන් අනතුරුව මාගේ මේසයේ ඔළුව ගසාගෙන හඬන්නට ගත් බවද ප්‍රකාශ කරමි.

එවිට මා පවසනු ලැබුවේ පස්වරු 1.30 වන විට මා කාර්යාලයෙන් බැහැරව යන බවත් ඊට පෙර ආරක්ෂක අංශයට පවසා සර්ව පුටුව පිටින්ම උස්සලා එළියෙන් තියන්න කියන්නම් යන බවත්ය. නමුත් ඊට පෙර මා කාර්යාලයෙන් බැහැර වන විටම ඔහුද පිටතට ගිය අතර, ආරක්ෂක අංශ පැමිණීමක් සිදු නොවීය.

මෙම ගුරුවරයා එවකට සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක්ව සිටි ගීතා අබේගුණවර්ධන සේවය කරන වකවානුවේදී එම පාසලේ 12-13 ශ්‍රේණි සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කර ඇත. එම පන්තියක දැරියන්ට විනය විරෝධී කටයුත්තක් සිදු කර ඇති බව දෙමව්පියන් විසින් දෙමාපිය රැස්වීමේදී විදුහල්පතිනියට දන්වන ලදුව ඒ සඳහා ලැජ්ජා සහගත වන ආකාරයට කටයුතු කර ඇති බව මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ හිටපු විදුහල්පතිනි ගීතා අබේගුණවර්ධන ගෙන් අසා දැනගන්නා ලදී. ඉන්පසු විදුහල්පතිවරිය ඒ සම්බන්ධයෙන් විනය විමර්ශනයක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිනියගෙන් අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් විමසා කරුණු විනිශ්චය කර ගත හැකිය.

තවද මෙම ගුරුවරයා විශාඛා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ පැමිණෙන බව දැනගත් විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් විසින්ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් මා දැනුවත් කරන ලදී.

එවන් වූ ඉතිහාසයක් ඇති ගුරුවරයකු ගෞරවනීය බාලිකා පාසලක විදුහල්පතිනියක් ලෙස පන්ති කාමරයට යැවීම මාගේ හෘද සාක්ෂියට එකඟව මා විසින් භාරගත් වගකීමට පටහැනි නොවන්නේද?

මේ වැරැද්ද සිදු කරනු ලැබුවේ විශාඛා විදුහල්පතිනිය වන මා විසින්ද, ලේකම්වරයාගේ නියෝගයට පටහැනිව ක්‍රියා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අධ්‍යක්ෂවරිය වන ධම්මිකා ජයනෙත්තිද යන්න ඔබට පසක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ සත්‍යය අවශ්‍ය ලෙස විකෘති කිරීමක් පමණක් වන අතර, මෙම පාසල පිරිමි ගුරුභවතුන් ඉතාම විනයානුකූලව තමන්ගේ රාජකාරි මනාව ඉටු කරන පාසලක් බවද මම තවදුරටත් ප්‍රකාශ කර සිටිමි.

කිරි කළයකට ගොම බින්දුවක් වැටුණහොත් සිදුවන ප්‍රතිවිපාකය අපි සියලු දෙනාම ඉතාම හොඳින් දන්නා කරුණක් වන අතර, එවැනි කළු පැල්ලමක් විශාඛා විද්‍යාලයට ඇති වීමට මා විදුහල්පතිනිය ලෙස කිසිදිනක කටයුතු නොකරන බවද දන්වමි.’’

මේ අනුව ඇගේ ප්‍රකාශයෙන්ම තහවුරු වන්නේ අදාල ගුරුවරයාට රාජකාරි භාර නොදී සිටිමින් ඔහු අපහසුතාවයට පත් කිරීම මෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද නියෝගය පිලි නොගෙන ඊට පටහැනිව ඇය ක්‍රියා කර ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය සදහන් කරන්නේ අදාල ගුරුවරයා විශාකා විද්‍යාලයට මාරු කර යවා ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගයක් මත බවයි.

එමෙන් ම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයාගේ නියෝගය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරියගේ නියෝගය පිලි නොගනිමින් සහ බැහැර කරමින් කටයුතු කරන අදාල විදුහල්පතිවරිය සම්බන්ධයෙන් වහා විනය පරීක්ෂණයක් සිදු කළ යුතු බවද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පවසනවා.

යම් හෙයකින් අදාල ගුරුවරයා මේ වන තෙක් කිසිදු විනය විරෝධි කටයුත්තකට වරදකරුවෙකු වී නොමැති බවත් යම් ගැටළුවක් වේ නම් ඒ සම්බන්ද තීරණය ගැනීමේ බලය විනය බලධාරියා වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයා සතු බලයක් බවත් පෙන්වා දෙන ලංකා ගුරු සංගමය එය විශාකා විදුහල්පතිවරියගේ කාර්යයක් නොවන බව ද පවසනවා.

එමෙන්ම ඔවුන්, ගුරුවරුන්ට අපහාස වන අයුරින් අභූත චෝදනා නගන විශාකා විදුහල්තපතිවරියගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කරනවා.

රජයේ පාසල් තුල අත්තනෝමතික ලෙස කටයුතු කරමින් ඒවා තම බුදල් ලෙස සිතමින් ආයතන සංග්‍රය සහ මුලික නීතිය පවා නොදන්නා උදච්ඡ්ච ආකාරයෙන් ප්‍රසිද්ධ බාලිකා පාසල්වල විදුහල් පතිනියන් හැසිරීම කණගාටු දායක තත්වයක් බවද ඔවුන් පෙන්වා දෙනවා.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ 2019 පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේදී විෂමාචාර සිදු කල බවට ඇයට එල්ල වී ඇති චෝදනාවයි. එයට අදාළ චෝදනා පත්‍රය පවා භාර දී තිබියදී ඇය මේ වසරේත් පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ කටයුත්තට මැදිහත් වී සිටින අතර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකාවක ලෙසද ක්‍රියා කරනවා.

එම චෝදනා කිසිවකට ඇගේ පිළිතුරු ලිපියේ පිළිතුරු නම් ලියවී තිබුනේ නැහැ.

සබැදි පුවත..

අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඉහලින් විදුහල්පතිකම් කරන බවට විදුහල්පතිවරියන් දෙදෙනෙකුට ගුරු සංගම්වලින් චෝදනා

About The Author