Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විලි ලැජ්ජ නැති රුපියල

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බරපතල ලෙස අවප්‍රමාණය වීමක් මේ වනවිට සිදුව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි රජය විසින් සිදු කරන ලද රුපියල් බිලියන 2ක ඉක්මවූ මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියද හේතු වී ඇති බවයි.

එමෙන්ම ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ දුර්වලත්වය මෙන්ම මේවන විට ලෝකය පුරා ව්‍යාප්තව ඇති කොරෝනා වසංගතයේ බලපෑමද මීට හේතු වී තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර පැවති යහපාලන ආණ්ඩුව සමයේ පාස්කු ප්‍රහාරයේ බලපෑම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය කඩ වැටීමේ සිදු වීම මෙන්ම 2018 වසරේ රට තුළ සිදුවූ නීතිවිරෝධී දේශපාලන බල පෙරළියේ බලපෑමද හේතුවෙන් සහ ඒ වන විට පැවති ලෝක ආර්ථික බලපෑම හේතුවෙන් රුපියලේ අගය වේගයෙන් පහල වැටුණා.

ඒ අවස්ථාවේදී වර්තමානයේ ආණ්ඩුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කළේ රුපියල කඩා වැටීම යනු රටේ ආර්ථික ක්‍රියාවලිය කඩා වැටීම බවයි.

බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ “රුපියල මස්තබාල්දු වී ආර්ථිකය කුල්ල කුජීතු වී ඇති” බවයි.

එමෙන්ම වියත් මග නියෝජනය කළ බොහෝ ආර්ථික වියතුන්ටද රුපියලේ අගය කඩ වැටීම දේශපාලන වශයෙන් පැවති ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රධාන මෙවලමක් වුණා.

එම දිනවල දී ආණ්ඩුවට සහය පල කළ මෙරට ප්‍රධාන පුද්ගලික මාධ්‍ය ආයතන දෙකක් යටතේ ක්‍රියාත්මක කෙටි පණිවිඩ සේවා හරහා දිනපතා උදේ,දවල්, රෑ කෙටි පණිවිඩ එවමින් රුපියල කඩා වැටීම සමග නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයේ තරම ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කළා.

ප්‍රවෘත්ති වාර්තා හරහා මේ බව රටට හෙළිකළා.

නමුත් මේ වන විට රුපියල දැඩි අර්බුදයකට ලක් ව ඇති අතර ඩොලරයේ අගය රුපියල් 200 සීමාවද ස්පර්ශ කලේ මෙරට ඉතිහාසයේ රුපියල කඩාවැටුණු ඉහලම අගය වාර්තා කරමින්.

එදාට සාපේක්ෂව කිසිදු මාධ්‍යයක රුපියලේ ඛේදාවචකය හෝ ඒ හරහා රටට ඇතිවන ආර්ථික බලපෑම පිළිබඳ කරුණු වාර්තා කරන බවක් පෙනෙන්නට නැහැ.

ඒ වෙනුවට රුපියල ගොඩදමා කොටස් වෙළඳ පොළ ආශ්චර්යයන් මවා පෑම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා වලට ඉඩ වෙන් වී තිබෙන අයුරු දැකිය හැකියි.

කෙසේ වෙතත් ඩොලරයේ අගය ඉහල යාම සමඟ ආනයනික නිෂ්පාදන වල මිල ඉහල යාම ප්‍රධාන වශයෙන්ම සිදුවන අතර එය මෙරට ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

දිගින් දිගටම මුදලේ අගය පිරිහීම නිසා රට ආර්ථිකමය වශයෙන් මහා අස්ථාවර භාවයක් කරා ගමන් කරමින් පවතින බව රහසක් නොවේ

1. මුදලේ අගය යනු රටේ ස්ථාවරත්වය පෙන්වන නිර්ණායකයකි. සාර්ව ආර්ථික ස්ථායිතාවක් පෙන්වීම සිදුවේ. අද වනවිට අපේ රටේ සාර්ව ආර්ථික අස්ථාවරභාවයක් පෙන්වන නිසා විදේශ ආයෝජකයන් පැමිණීම දුර්වල වී තිබේ. ආර්ථික ස්ථාවරභාවයක් නොමැති රටක ආයෝජනය කිරීමට ආයෝජකයන් මැලිවීම මෙයට හේතුවයි.

2. මෙරට පවතින බොහෝ කර්මාන්ත විදේශ අමුද්‍රව්‍ය මත පදනම් වූ ඒවායි. මුදලේ අගය පිරිහීම නිසා මේ කර්මාන්ත නිෂ්පාදනවල මිල ඉහළ යයි. විදේශීය භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. මේ නිසා රට තුළ උද්ධමනය ඇතිවේ. මෙය ආර්ථික විද්‍යාවේදී හඳුන්වන්නේ “ව්‍යුහාත්මක උද්ධමනයක්” ලෙසය. මෙම උද්ධමනය නිසා ආර්ථිකය යළි යළිත් අස්ථාවර වේ.

3. විදේශ විනිමය පිරිහීම හේතුවෙන් සිදුවන ලොකුම අවාසිය වන්නේ අප ගෙවන්නට ඇති විදේශ ණය වාරික සහ පොලීවල වටිනාකම ඉහළ යාමයි. වෙනත් කරුණු සමග සංසදනය කර බලන විට මෙය අපට සිදුව ඇති විශාලතම අවාසියකි. මෙම විශාල ණය තොගය ගෙවීමට අපේ ආදායමද නොසෑහී තිබෙන අවස්ථාවක එම ණය ප්‍රමාණය රුපියල පිරිහීම නිසා ඉහළයාම අපට සිදුව ඇති දැවැන්ත හානියකි. රට ආර්ථික අස්ථාවරත්වයට පත්වීම තව තවත් වේගවත් වේ.

මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වයයි.

මෙහිදී සිදුවන අතුරු ප්‍රතිඵලය වන්නේ රටේ ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට, අවශ්‍ය තීරණ ගැනීමට ක්‍රමයක් නොමැතිවීමයි.

අනාගතය අවිනිශ්චිත නිසා නිසි පරිදි නිවැරදි තීරණ ගැනීමට අපොහොසත් වීම, දේශීය ආයෝජකයන්ද මුදල් ආයෝජනය කිරීමට වඩා වෙනත් රටකට මාරු කිරීමට හෝ මුදල් අවිධිමත් ලෙස සඟවා ගෙන සිටීමට පෙළඹීම, මුදල් රට තුළට නොපැමිණීම , එසේම ඇතැම්විට අවිනිශ්චිත ආයෝජනවලට නොපෙළඹී වෙනත් කෙටික්‍රමවලින් ආදායම් ලැබීමට උත්සාහ කිරීම, මූල්‍ය සමාගම්වල වැඩි පොලියට ස්වකීය මුදල් තැන්පත්කර ආදායමක් ලබාගැනීමට උත්සුකවීම වැනි අහිතකර තත්වයන් රැසක් නිර්මාණය වනු ඇත.

මේ වනවිට ආර්ථිකයේ කෘෂිකර්ම, කාර්මික සහ සේවා අංශවල දැඩි පසුබැසීමක් ඇතිවී තිබේ.

මෙම තත්ත්වය දිගටම වර්ධනය වනු මිස කවදා විසඳේදැයි කිව නොහැක.

රටේ ආර්ථික බිඳ වැටීම පාලනය කිරීමට රජය මේ දිනවල සිදුකරමින් පවතින කෙටිකාලීන ප්‍රයත්නයක් වන්නේ වරාය, ගුවන්තොටුපොළ, රජයේ ඉඩම්, ගොඩනැගිලි, රාජ්‍ය ව්‍යවසාය ආදිය විකුණා මුදල් ලබාගැනීමේ වැඩ පිළිවෙලකට රජය අවතීරණය වීමයි.

මේවා තාවකාලික පැලැස්තර විසඳුම් මිස ස්ථීර විසඳුම් නොවේ. රුපියල අවප්‍රමාණ වීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වන්නේ රාජ්‍ය අයවැය තුළ සංඛ්‍යා ලේඛන හා නිර්මාපක වැරදි බවට පත්වීමයි.

රටේ උද්ධමනය ඉහළ ගියවිට අයවැය ලේඛනයේ සඳහන් අයවැය වෙනස් වෙයි. අයවැය ඇස්තමේන්තු ඉහළ යන අතර ඒවා හුදු ඉලක්කම් රුසක් බවට පත්වේ.

එමෙන්ම සමස්තයක් ලෙස එය රටේ ආර්ථික පද්ධතියට බරපතල මට්ටමේ බලපෑමක් සිදු කරන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසයි.

ආණ්ඩුව මාරු වූ විට සුදු කෙළින ලැජ්ජාවක් නැති රුපියල

ආර්ථික විශ්ලේෂකයින් කෙසේ පැවසුවත් එදා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කඩා වැටීම රටේ ආර්ථිකයේ බරපතල කඩා වැටීමක් ලෙස පැවසු වත්මන් ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමේම සාමාජිකයෙකු වන හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ රුපියල කඩා වැටුණු පමණින් මෙරට සාර්ව ආර්ථික තත්ත්වයන් මැනිය නොහැකි බවයි.

එසේ පැවසීමෙන් නොනැවතී ඔහු රුපියලට සාපේක්ෂව ඩොලරය තිබිය යුතු හුවමාරු මිල 185 ක් විය යුතු යයිද පවසනවා.

ආණ්ඩුව ගෙන යන ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල තුළ රුපියලේ වටිනාකම මෙය විය යුතුයැයි තීරණය කරන්නේ ඔහුය.

කෙසේ නමුත්, අගය පාවීමට ඉඩ හැරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල මේ වන විට රුපියල් 200 ආසන්නයේ පවතින අතර , ඊයේ එම අගය සටහන් වූයේ රුපියල් 198 යි ශත 24 ක් ලෙසයි.

තත්වය එසේනම් මහබැංකුව හරහා සමස්ත බැංකු පද්ධතියම දැඩි සීමා කිරීම් වලට ලක් කොට සේවක දීමනා කප්පාදු කොට, මුදල් නිදහස් කිරීම් සීමා කොට දැඩි පාලන ක්‍රමවේද අනුගමනය කිරීමට මේවන විට රජය කටයුතු කරමින් සිටින්නේ ඇයිද යන්න අජිත් නිවාඩ් කබ්රාල් මහතා වහා රටට හෙළි කල යුතුය.

රුපියල රැක ගැනීමට ආණ්ඩුව වලි කන්නේ ඇයිද යන්න රටට හෙළි කල යුතුය.

මේ වචන හරඹ තුල පෙනී යන එක දෙයක් තිබේ.

මේ වන විට රුපියලේ අගය පමණක් නොව කොලිටියද බිංදුවටම වැටී තිබේ.

තමන්ට කියා කුමක් හෝ වැදගත් කමක් තිබුණා නම් රුපියල එයද අහිමි කර ගෙන ඇත.

රුපියල ආණ්ඩු මාරුකරමින්, ආණ්ඩුවෙන් ආණ්ඩුවට තම මුල්‍ය හැසිරීම් පිළිබද නිර්ණායක සහ මුලධර්ම පවා මාරු කරමින් ලැජ්ජා නැති සුදු කෙලියක නිරතව සිටි.

වෙන කාගෙවත් වරදක් නැත.

වරද රුපියලේය.

ජනාධිපති කොමිසමක් , එහෙමත් නැතිනම් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් දමා හෝ අවලමේ යන රුපියලයා ගැන සොයා බැලිය යුතුය,.

නැතහොත් මුළු රටම රුපියලයා නිසා අමාරුවේය.

© මී මැස්සා

About The Author